Saturday, June 12, 2010

බස් කොන්දොස්තර සහ අසරණ මගියා

  මොකද හිතෙන්නේ මාතෘකාව දැකපු ගමන්??යකා නැග්ගද??මළ පැන්නද??තද උනාද?? ( කෙටියෙන් ඇහුවොත් , කේන්ති ගියාද?? )

  ඕකට හේතුව මොකක්ද?

 පැහැදිලිවම අපි හැමෝටම වගේ මේ බස් කොන්දොස්තරල ගැන තියෙන අත්දැකීම් එච්චරම සුන්දර නැති නිසා.එහෙම නේද?

  අපි බොහෝ දෙනෙක් අත්දකින සහ අත්දැකපු දෙයක් තමයි ඉතුරු සල්ලි ප්‍රශ්නේ.ඊලඟට කොන්දොස්තරගේ යටි ගිරියෙන් කෙරෙන කෑගැහිල්ල.තව , බස් එකේ සෙනග පිරිච්ච වෙලාවට මිනිහා එහාට මෙහාට යනකොට හිටං ඉන්න උදවියගෙ කකුල් වලට නොමිලේම මසාජ් ලැබීම.ඇයි සල්ලි ගනිද්දි අනිත් පැත්තේ වාඩිවෙලා ඉන්න මිනිහාගේ උරහිස්සට නොමිලේම මසාජ් එකක් දීම.

  ඔන්න ඔය වගේ එකී මෙකී නොකී සෑහෙන කරුණු කාරනා නිසා , බස් එකේ යන හුඟක් අය මේ කොන්දොස්තර කියන හාදයත් එක්ක අමු ඔරොප්පුව.

   හැබැයි අපි හැමවෙලේම සාධාරණද?පොඩ්ඩක් හිතලා බලමු.

   ඉතුරු සල්ලි ප්‍රශ්නෙ ඇතිවෙන්නේ අපි ලොකු ලොකු සල්ලි කොල අතට අරං බස් එකකට නැග්ගාමයි.සාමාන්‍යයෙන් මේ ඉතුරු සල්ලි ප්‍රශ්නේ ඇතිවෙන්නෙ කෙටි දුර බස් සේවාවලයි.දුර දුවන බස්වල ඔය ප්‍රශ්නේ නැත්තේ ඒවායේ ගනං මිනුං බොහෝවිට සල්ලි කොල වලින් පමණක් ගෙවිය හැකි වීම හන්දයි.

දැන් අපි ප්‍රශ්නේ අඳුනාගත්තා , ඉතින් දැන් ප්‍රශ්නෙට විසඳුම මොකක්ද?

     ලේසිම , පහසුම විසඳුම තමයි, අපි අපේ ගමන් බිමන් වලට ඕනි කරන මුදල් අවශ්‍ය මාරු සල්ලි එක්කම ලඟ තියාගැනීම.ඕකට , ගමන යන්න කලින් පොඩ්ඩක් පොකට් එක ඇදලා බලලා, ගෙදර අයගෙන් උදව්වකුත් අරගෙන සල්ලි මාරු කරගත්තම වැඩේ ඉවරයිනේ :))
       නැත්තං ගමන යන්න කලින් සිල්ලර කඩේකට ගියාම නිකංම මාරු කරල දෙනවනේ.

       ඉතින් තවත් ඉතුරු සල්ලි ඉල්ල ඉල්ලා නහයෙන් අඬන්න වෙන්නේ නෑනේ.ප්‍රශ්නෙත් ඉවරයි , හිතටත් සතුටුයි.අනික අපිට අනිත් මිනිස්සුන්ගෙ වැරදි හදනවට වඩා , අපෙන් වෙන්න ඕනි යුතුකම ඉටු කරන එක ලේසියිනේ.

      හැබැයි නොකියාම බැහැ,සමහර වෙලාවට බස් කොන්දොස්තර අයියලා අපේ සල්ලිවලට අමු අමුවේ විදිනවා.රුපියල් 100 ක් විතර දුන්නාම ඉතුරු පසුවට කියල කියලා , අපි බහින්න කිට්ටු වුණාම මිනිහා හැංගිමුත්තන් කරනවා.ඔන්න ඔයවෙලාවට තමංගේ කට තියෙන්නේ පාවිච්චි කරන්න.කෙලින්ම අඬගහල ඉතුරු ඉල්ලුවාම වැඩේ ඉවරයි.ඒත් සමහරු ( විශේෂයෙන් ගෑණු උදවිය ) හරිම බයයි කතාකරල ඉතුරු ඉල්ලගන්න.ඉතිං ඒ වගේ අයගෙන් මේ කොන්දොස්තර අයියලා උපරිම ප්‍රයෝජන ගන්නවා.

      ඊලඟට එන්නේ අපිට විසඳීමට අපහසු ප්‍රශ්න.ඒ කියන්නේ කොන්දොස්තරගේ කෑ ගැහිල්ල , නොමිලේ ලැබෙන මසාජ් වගේ දේවල්.ඒවායෙනුත් නොමිලේ මසාජ් ලැබෙන එකනං මිනිහට තට්ටුවක් දාලා කියලා අඩු කරගන්න පුළුවන්.ඒත් අර කන දෙදරණ සද්දේ!!!ඕකනං ඉතින් නවත්තන්න වෙන්නෙ සක්කරයට තමයි :)

    කොන්දොස්තරගේ පැත්තෙං හිතුවාම මිනිහත් සාධාරණයි.මොකද ඒ මිනිස්සුන්ට දවසේ පඩිය හම්බවෙන්නේ එදා දවසේ ආදයමට අනුවයි.ඉතිං ඒ මිනිස්සු හදන්නේ තමංගේ අතට කීයක් හරි වැඩියෙන් ගන්න පුළුවන් තරං මිනිස්සුන්ව බස් එකට පටවගන්න එක.



   අනික , බස් එකට නැග්ග හැම මිනිහෙක්ගෙන්ම ඉක්මන්ට සල්ලි ගන්න ඕනි,ඉතුරු දෙන්න ඕනි.බස් එකේ සෙනග පිරිලනං, ධාවනය වෙන බස් එකක් ඇතුලේ මේ වගේ දේවල් කරද්දි වටේ පිටේ ඉන්න මගීන්ට ටිකක් අපහසු වෙන එක ඇත්ත.ඒත් කොන්දොස්තරට තමංගේ රාජකාරිය නවත්තන්න බැහැ නොවෑ!!

   පාපුවරුවේ යන්න වෙනවා , ඉස්සරහා දොරයි පස්සේ දොරයි අතරේ දුවන්න වෙනවා ටිකට් කඩන්න.ඔය වෙලාවට වැස්සක් තිබ්බොත් හොඳටම තෙමෙන්න වෙනවා.ඔය වගේ අපි නොදකින , අපිට නොපෙනෙන විදියට කොන්දොස්තරලා දුක් විඳිනවා නේද කියල ටිකක් හිතලා බැලුවොත් පෙනේවි.ඔහොම ඉස්සරහා දොරයි පිටිපස්සේ දොරයි අතරේ වාහන තදබදයක් වෙලාවක දුවන්න ගිහිං අනතුරුවලට ලක්වෙලා , තමන්ගේ අතපය අහිමිවුණ කොන්දොස්තරවරුත් ඉන්නවා.


    අනිත් කාරණේ අපේ සමහර මිනිස්සු පුරුදුවෙලා ඉන්නේ බස් එකට නැග්ගාම නැග්ග තැනම ගල් වෙන්න.(හිටගෙන යන උදවිය) තව මිනිස්සු ඉන්නව නේද,ඉස්සරහට ගිහින් ඉඩ දෙන්න ඕනි නේද කියලා තමංම හිතලා වැඩ කරන උදවිය ඉන්නේ බොහෝම සීමිත පිරිසක්.ඉතිං ඒ වගේ උදවියට කොන්දොස්තර අයියලාගේ කන්දොස්කිරියාව හින්දාම තමයි මතක් වෙන්නේ තව ඉඩ තියෙනවා , තව මිනිස්සු බස් එකේ යන්න ඕනි කියලා.ඉතිං ඒ වගේ මිනිස්සු නිසා නිකං ඉන්න අසරණ අපිටත් කනේ ඇඟිලි ගහගන්නයි වෙලා තියෙන්නේ.

   හැබැයි ඉතිං ඔය තත්වේ හැමතැනටම අදාල නැහැ.සමහර කොන්දොස්තරවරු කෑ ගහන්නේ පුරුද්දට.බස් එක පිරිලා ඉතිරිලා ගියත් , ඇඟිල්ලක් ඔබන්නවත් ඉඩ නැතිවුණත් කෑ ගහන එක නවත්තන්නේ නැති කොන්දොස්තරවරූත් ඉන්නවා.


   මට මතකයි දවසක් අපි ඉස්කෝලේ යන දවස්වල 138 කොට්ටාව බස් එකක කොන්දොස්තරෙක් මෙහෙම කියනවා.

   බස් එකට නගිනකොට ; "නගින්න නගින්න ඉක්මන්ට නගින්න මහත්තුරු ටික ඉක්මන් කරන්න"

   ඊලඟට බස් එකට නැගලා මොහොතක් යන්නත් කලිං ; "කෝ මහත්තුරු ටික ඉක්මන්ට සල්ලි දෙන්න සල්ලි දෙන්න"

    සල්ලි දීලා ඉවර වුණ ගමං කියාපි "ආ දැන් ඉස්සරාට ගිහිල්ලා ඉස්සරා දොරෙන් බැහැගන්න" !!

     වැඩේ කියන්නේ අපි බස් එකට නැග්ගේ කුරුඳුවත්ත පොලිසිය ගාවිං.ටිකට් ගත්තේ මහරගමට.මිනිහා සල්ලි අරං ඉවර වුණා තුම්මුල්ලට එද්දී,එතෙන්දි අපිට කියනවා ඉස්සරාට ගිහිං දැං බැහැගන්න කියලා.කට්ටියක්ම හිටපු නිසා අපිත් එක්ක හිටපු එකෙක් ඇහුවා මිනිහාගෙන් "අයියේ,දැං සල්ලි ගත්තු ගමං බහින්න කියන්නේ මේ මහරගමද?" කියලා.අපිටත් හිනා , බස් එකේ හිටපු මිනිස්සුන්ටත් හිනා!!

     ඔන්න ඕකයි තත්වේ!!!සල්ලි ගන්නකං කොන්දොස්තරලට අපිව පේන්නේ දෙවිවරු වගේ.ඒ දෙවිවරුම සල්ලි දීලා ඉවර වුණාම , බලු ගානට වැටෙනවා!!

     හැබැයි ඔය ප්‍රශ්න මුකුත්ම නැති බස් වර්ගෙකුත් තියෙනවා ලංකාවේ.වෙන මොනවත් නෙවෙයි , CTB හෙවත් ලංගම බස්!!!ඒවායේ කොන්දොස්තරලා පුදුම තැන්පත්.බොහෝම කලාතුරකින් තමයි කෑ ගහන්නේ.ඉතුරු සල්ලි වැඩියෙනුත් දෙනවා.ඉඳලා හිටලා ටිකටුත් දෙනවා.වෙලාවකට සල්ලි ඕනිම නෑ වගේ ටිකට් නොකඩාමත් ඉන්නවා.


   අනික ඒ වගේ බස් වල සෙනගත් සූ ගාල 5ක් 10 ක් වගේ තමයි ඉන්නේ.ඒකට හේතුව බස් එක සීග්‍රගාමී වීම නෙවෙයි , සීමිත නැවතුම් වීම!!නවත්තන්නේ බොහෝම කලාතුරකින්.ඉක්මනට ගමනක් යනවනං , CTB බස් තමයි ඉතිං!! :))) අනික ඔය වගේ සුපිරි සේවයක් දෙන නිසා තමයි ලංගමය (CTB) උපරිම පාඩු ලබන ආයතනවලින් එකක් වෙලා තියෙන්නේ.(ඒක ගැන වෙනම ලිපියක් ලියන්න වෙයි වගේ :)) )

    CTB බස්වල කොන්දොස්තරවරු දිහා බැලුවාම අපිට හිතෙන්නේ "අනේ හැම කොන්දොස්තර කෙනෙක්ම මේ වගේ වුණානං!!!" කියලා.
     හැබැයි ඔය හොඳකමට එකම හේතුව , ප්‍රයිවට් බස්වල කොන්දොස්තරවරු වගේ දිනපතා පඩි නොලැබ , මාසික පඩි ලැබීම බව දන්නේ බොහෝම ටික දෙනයි!!!

------------------------------------------------------------------------------------------------------------

   ඉතිං මොකද හිතෙන්නේ?අපි 100% ක්ම සාධාරණද?

13 comments:

  1. ඇත්තටම පෞද්ගලික බස් කොන්දොස්තරවරු එක්ක බලද්දි නම් ලංගම කොන්දොස්තරවරු සෑහෙන්න හොඳට මිනිස්සුන්ට සලකනවා. මාසෙ පඩි කාරයෝ හින්ඳ ද කියන්න නම් දන්නෙ නෑ, හැබැයි අපි ඒක අගය කරන්න ඕන.

    මට මතක විඳිහට පහුගිය අවුරුද්දේ ලංගම ලාභ ලබන ආයතනයක් උනා කියල ඒක භාරව හිටපු පොලිටොයිස් අන්කල් කිව්ව වගේ මතකයි ;) (ඇත්ත නම් හොඳා, කොහොමද දන්නෙ නෑ)

    ReplyDelete
  2. ලංගම විතරක් නෙමෙයි රජය යටතේ තියෙන හුඟාක් ආයතන පාඩු ලබනවා...

    කොන්දොස්තරල ගැන කියද්දි මතක් වෙන්නේ අපේ ස්කූල් බස් එකේ හිටි සමන්ත අයියා... නියම මනුස්සය... කකුලක් පාගන්නේ නැහ මලාට...

    අහ් අර සින්දුවක් තියෙන්නේ...

    මාරු කාසි එකතු කරල කියල හික් හික්

    ReplyDelete
  3. අහ් මොකද ඊයේ බැනුම් ඇහුවද කොන්දෙක් ගෙන්...??? පේන විදිහ‍ට නම් ඔව් වගේ..... :-D

    ලංගමේ කොන්දයියලාට මාසේ පඩි එයාල සෙනග ගෙනිච්චත් නැතත් හම්බවෙනවා...ඒකයි එයාලගේ කරුණාවට මුල....එයාලට ලංගම පාඩුවුනත් එකයි ලාභ ලැබුවත් එකයි....නැතිනම් ගමනාගමනය වගේ ආයතන කිසිමදාක පාඩුලබන්න පුළුවන් ආයතන නෙවේ....ඔය වෙලාවට නම් හිතෙන්නේ රජයේ ආයතන පෟද්ගලිකරණය කරන්න ඕනි කියලා...

    ReplyDelete
  4. අපරාදේ කියන්න බැහැ මම ඉස්කෝලේ ගමන ඉවර කරනකම්ම ගියේ ලංගම බස්වල සීසන් එකෙන්. ඉතින් ලංගම බස් එකක් එනකම් අපි බස් හෝල්ට් එකට වෙලා කියෝ කියෝ පැ

    ය ගණන් හිටපු වෙලාවල් එහෙමත් අඩු නැහැ. බස් එක දැක්කාම යාළු වෙලා ඉන්න කෙල්ල දැක්කා වගේ තමා සතුට :)

    කොහොමත් ලංගම බස් ඉක්මනට යනවා. අනික අපේ සීසන් කෙරුවාවෙන් ලොකු ලාභයක් එහෙමත් අපිට තිබ්බා

    ReplyDelete
  5. @ කොඩී - අනේ මන්දා බං!!මොනා වුණත් ඩලස් ටිකක් හදලා ගත්තා ලංගමේ.බලමු ඊලඟට වෙන්නෙ මොකද කියලා.

    ස්තුතියි සහෝ ප්‍රතිචාරයට

    @ පිස්සා - කොහොමත් ඉස්කූල් බස්වල කොන්දයියලාට අපි සම්තිං එක දෙනවනේ මචෝ!! ඉතින් උං නං කොහොමත් ශේප්.

    අනේ බං මම ඔය සිංදුව දන්නේ නෑනෙ බං :((

    මොනාවුණත් රජයේ ආයතන පාඩු ලබන කතාවට මම එකඟයි 100%ක්ම.මොකද අපේ මිනිස්සුන්ට අවශ්‍යතාවක් නැහැ ඒවා දියුණු කරන්න!!!

    ReplyDelete
  6. @ හසියා - අනේ නෑ බං!!මේක ලියන්න හිතලා ගොඩක් කල්.අදයි ඉවර කලේ :)

    උඹේ කතාව හරියටම හරි සහෝ!!!පාඩු ලබන්න ලොකුම හේතුව නොසැලකිල්ල සහ නාස්තිය

    @ Hasitha - අපිත් ඉස්කූල් බස් ෆන් එකනං උපරිමේටම ගත්තා.ඒත් ඉතිං හැමදාම වලි දාගෙන බස් එක කොට උඩනේ බං :(

    මාත් ඒ කාලේ ගෙදරින් දෙන සල්ලි ඉතුරු කලේ සීසන් එක පාවිච්චි කරලා :))

    ReplyDelete
  7. ඔය මසාජ් ගැන කියද්දි අමතක උන මසාජ් එකක් තියෙනවා. සෙනග වැඩි වෙලාවලට සමහර කොන්දලා හිටගෙන යන ගෑනු කට්ටියගෙ පපුවට වැලමිටින් එහෙම දෙන මසාජ් එක ....
    අනික තමයි කඩේකට ගියත් ඉතුරු සල්ලි වෙනුවට දෙන්නෙ ටොෆී. ඉතින් අපි ලඟ කොහෙද මාරු සල්ලි.

    ReplyDelete
  8. ගොඩක් කොන්දොස්තරලා නම් කිසිම වැඩකට නැති අය . .

    මේ අය ව අඩු තරමින් සිවිලයිස් කරන්න වත් කෝස් එකක් තිබ්බ නම් හොඳයි. මොකෝ බස් වල යන්නේ සත්තු නෙමෙයි වැදගත් මිනිස්සුනේ . .

    ReplyDelete
  9. @ මහසෙන් - කතාව ඇත්ත සහෝ!!සමහර කොන්දලා ගන්න දෙයක් නෑ!!!ජරා කාපර්ලා.

    හික්ස්..මාරු සල්ලි සීන් එකත් ඇත්ත.මොකද මාත් හෙන ගේමක් දෙනවා ඕකට.හුඟක් වෙලාවට පිනට දුන්නා කියලා හිත හදාගන්න තමයි වෙන්නේ :)

    @ දුකා - ඔය කතාවත් සහතික ඇත්ත.අපෙං සල්ලි ගන්නකං විතරයි,ඊට පස්සේ උං තමයි ලොක්කො , අපි බලු ගානට වැටෙනවා.

    ඕකට මම හිතන්නේ බලපාන්නේ කොන්දලාගේ නූගත්කම.උගත් මිනිස්සු ඉස්සරහා කටිංවත් වැඩ පෙන්නල වැඩර්ලා වෙන්නයි දඟලන්නේ.අපි අනුකම්පාකරමු!!!

    ReplyDelete
  10. ජාල-කාල-කන්නියාJune 14, 2010 at 10:06 AM

    mama horen yana hinda mata nam awulak ne!

    ReplyDelete
  11. @ ජාල-කාල-කන්නියා - එහෙනං අවුලක් නෑ :))

    ReplyDelete
  12. මේ මම මේ පැත්තට ආපු පළමු වතාව..ලස්සන අදහස් ටිකක් ගොණුකරපු ලිපියක්. ගොඩක් අය හිතන්නේ නැති පැති ගැනත් හිතලා තියෙනො. හැමෝ ම සල්ලි පස්සෙ දුවන්නේ.. ඒ වාගේ ම ගොඩක් අය හිතන්නේ තමන් ගැන විතරයි..ගොඩක් ප්‍රශ්ණවලට හේතුව ඒක..කොහොම උනත් මම දැකපු චාටර් ම බස් තමා 154 රූට් එකේ ඒවා.. මේ ලඟ දී news වලටත් ඒක පෙන්නලා තියෙනෝ..
    ජයවේවා!!!

    ReplyDelete
  13. @ sampathjt - ස්තුතියි මචෝ මේ පැත්තේ ඇවිත් ,ලිපියට ප්‍රතිචාරයක් දුන්නට.

    මිනිස්සු සල්ලි පස්සේ දුවන එක නවත්තන්න දැන් බැහැ සහෝ.මොකද හැමදේටම මිනිස්සුන්ට සල්ලි ඕනිනේ.හැබැයි ඒ නිසා තමයි සමාජේ ගොඩාක් ප්‍රශ්න ඇතිවෙලා තියෙන්නෙත්.

    154 ගැනනං කියලා වැඩක් නෑ!! අපේ අක්කා NIBM යන කාලේ කියපුවා ඇස් දෙකෙන්ම දැක්කේ ඉඳලා හිටලා ප්‍රදර්ශනයක් බලන්නහරි BMICH එක පැත්තේ ගියාමයි!!

    ReplyDelete

මගේ ජංජාලය කියවලා හිතුණේ මොනවද?
කියලම යන්න පල්ලෙහා තියෙන කොටුව ඇතුලේ :) :D