Monday, June 7, 2010

ලංකාවේ උසස් අධ්‍යාපනය හා සිසුන්ගේ කෙස් ගස් සුදුවීම (නිදහස් අධ්‍යාපනයේ අක්‍රමවත් බව නිසා වයසට යන අපි)

නිමිත්ත ::   "නව විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබන ඔක්තෝම්බර් 1 වනදා!" - එස් බී ට පිස්සුද , නැත්තං අපිට පිස්සුද?




   මේ වසර සඳහා විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබන ඔක්තෝම්බර් මස 1 වන දින සිදුකරන බවට අපේ එස්.බී.ලොක්කා ප්‍රකාශයක් කොලා නොවෑ!!වැරදුනාද දන්නේ නෑ,ඒ වුණත් කියපු විදියට ඔක්තෝම්බර් වෙනකං තව මාස 4ක් අපිට බලං ඉන්න වෙයිදෝ කියලා මටනං හිතෙනවා.මොකද ලංකාවේ අධ්‍යාපන ක්‍රමය සෑහෙන දියුනු නිසා ඒ වගේ දෙයක් වුණොත් පුදුම වෙන්න දේකුත් නැහැ.

    මේ වෙලාවේ මට හිතුණා "ලංකාවේ උසස් අධ්‍යාපනය තුල විනාශ වෙන අපේ අනාගතය" ගැන පොඩ්ඩක් ලියන්න ඕනි කියලා.

    අපේ රටේ විභාග පස්සේ දුවන තරඟේ පටං ගන්නේ 3 වසරේ ඉඳන්.ඒ 5 වසර ශිෂ්‍යත්වේ ඉහලින්ම පාස් කරවන්න 3 වසරේ ලමයින්ව පංති ගානෙ අරං දුවලා.ඔහොම දුක් විඳින අපේ රටේ ලමයි සාමාන්‍ය පෙලටත් පංති 10 කට විතර දුවල හොඳටම හෙම්බත් වෙලයි උසස් පෙල කරන්න එන්නේ.

    හැබැයි ඒ හැම හෙම්බත් වීමක්ම අපේ යහපත උදෙසා කියලා හිත හදාගන්න පුළුවන් දේවල්.ඒත් කතාව පටං ගන්නේ සාමාන්‍යපෙළ කරපු එකාට උසස්පෙළ කරන්න කලිං බලං ඉන්න වෙන මාස 6 / 7 ත් එක්ක.සාමන්‍යපෙළ විභාගේ ඉවර වෙන්නේ දෙසැම්බර් මාසේ.ඊට පස්සේ ඒ ලමයි බලං ඉන්නවා කරපු විභාගේ ප්‍රතිඵල එනකං මාස 5ක් විතර.බොහෝවිට අප්‍රේල් මාසේ මැද වෙද්දි තමයි ඔය බලං ඉන්න ප්‍රතිඵලේ එන්නේ.

             දැං පටං ගන්න කැල්ක්‍යුලේටරේ ඔන් කරගන්න.ඔන්න දෙසැම්බර් ඉඳලා අප්‍රේල් මැදවෙනකොට මාස 4 1/2 ක් නිකංම ගත වෙලා ඔන්න.
            ඊලඟට උසස්පෙළට පාසල් පටං ගන්නේ ජූලි මුල ( කොලඹ පාසල් කිහිපයක් විතරක් ඊට මසක් පමණ පෙර පටං ගන්නවා )
            එතකොට තවත් මාස 2 1/2 ක් ගිහිං.ඔක්කොම එකතුව මාස 7යි.

  ඊලඟට ඔන්න උසස්පෙළ.මහා තරඟ විභාගය.ජීවිතේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය තීරණය කරන කඩඉම.ලමයි කඩිමුඩියේ , විෂයන් එකකට පංති 4 ගානේ විතර පංතිත් හොයාගෙන ජීවිතෙ ජයගන්න අව් , වැසි නොබලා අධ්‍යාපනේ!!!කෑමක් , බීමක් නැතුව සමහරු හරියට නින්දක්වත් නැතුව අවුරුදු 2ක් නැහිලා,නැහිලා ඔන්න විභාගේ කරනවා අවුරුදු දෙකකට පස්සේ එන අගෝස්තුවේදි.විභාගේ ඉවර වෙන්නේ අගෝස්තුව අන්තිමේ.

     ඔන්න නැවතත් බලං සිටීමේ කාලය!!!අගෝස්තුවේ විභාගේ කොරන උන්ගේ ප්‍රතිඵල එන්නේ දෙසැම්බර් සහ ජනවාරි කාලය ඇතුලත.අපි ජනවාරි මුල කියලා හිතමුකෝ.ඔන්න එතකොට අගෝස්තුවේ ඉඳන් මාස 4යි.

   ජනවාරියේදි ප්‍රතිඵල ආවට වැඩක් නෑ ඕං!!! නැවත සමීක්ෂණ ඉවර වෙනකං කඩඉම් ලකුණු දෙන්න බෑ නොවෑ!!! ඉතිං ඔන්න අපි අයෙමත් බලං ඉන්නවා.ඇටිකෙහෙල් කාපු රිලව් වගේ අපි බලං ඉන්නවා පේපර්ස් බලපු මිනිස්සුංගේ අතිං වෙච්ච වැරදි හරිගස්සනකං!!!!ඔන්න ඔය නැවත සමීක්ෂණ ප්‍රතිඵල එන්නේ ජූනි මාසේ හෝ ජූලි මාසේ.අපි ජූලි මාසේ කියලා ගත්තොත්,ජනවාරි ඉඳන් මාස 7යි.

   එතකොට මාස 11ක්ම අපි උසස්පෙළ කරල උඩ බලං ඉඳලා!



   හෝව් හෝව්!!!තව ඉවර නෑ !!! :) ප්‍රතිඵල ආවට,කඩඉම් ලකුණු ආවට , කැම්පස් පටං ගන්නේ තව මාසයක් හෝ දෙකක් ගිහිල්ලා.එතකොට මාස 13ක් නිකරුනේ ගතකරලා අපේ උසස්පෙළ කරපු හපන්නු ටික.

   ඔක්කොම එකතු කරල බලන්න දැං.සාමාන්‍යපෙළ ඉවර වෙලා බලං හිටපු මාස 7යි , උසස්පෙළ කරල බලං උන්නු මාස 13යි.එකතුකළාම , මාස 20යි!!!අවුරුදු දෙකකට මාස 4යි අඩු!!! :))

   මේ පාර එස්.බී. කිව්ව විදියට කැම්පස් පටං ගන්නේ ඔක්තෝම්බර් වලනං,ඔන්න අර මාස 4ත් සම්පූර්ණයි!!!එතකොට උසස්පෙළ හමාරකරලා , ජීවිතේ ජයගත්තු , ලාංකික නිදහස් අධ්‍යාපනේ පහස ලැබූ දක්ෂ ශිෂ්‍යයා , තමංගේ ජීවිතේ වටිනාම කාලයෙන් අවුරුදු 2ක් නාස්ති කරගෙන ඉවරයි , රජයේ සහ ලාංකික අධ්‍යාපන ක්‍රමයේ සාර්ථකත්වයට පිං සිදු වෙන්න.

    මීට සමාන්තරව ජත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන ලමයින්ගේ ජීවිත ගැන හොයලා බලමුද?

   ජාත්‍යන්තර පාසලක සාමාන්‍යපෙළ කරන්නේ අපි සාමන්‍යපෙළ කරන අවුරුද්දේම අගෝස්තුවේ.ඒ කියන්නේ අපිට මාස 3කට කලින්.ඒක ඉවර වෙලා මාසයක් ඇතුළත උසස්පෙළත් පටං ගන්නවා.එයාලගේ පේපර්ස් ඔක්කොම බලන්නේ එංගලන්තෙට යවලයි.එහෙම යවලත් ඒ පේපර්ස් මාසයක් ඇතුළත ප්‍රතිඵල සහිතව ලංකාවට එනවා.

     ඊලඟට එයාලා උසස්පෙළ කරන්නෙත් අපිට කලින් අවුරුද්දේ අගෝස්තුවල.එතනත් අවුරුද්දක වෙනසක්.එහෙම කරපු එයාලගේ ප්‍රතිඵල එනව මාසයක් ඇතුලත.ඊලඟ ජනවාරි වෙනකොට ඒ ලමයි තමංගේ ජීවිතේ ජයගන්න ඕනි කරන උසස් අධ්‍යාපනේට විදේශගතවෙනවා , එහෙමත් නැත්තං දැනට මෙරට පටං අරං තියෙන පුද්ගලික විශ්ව විද්‍යාලෙකට ඇතුලත් වෙනවා.

    ඔන්න ඔහොම කරුණු කාරනා සිද්ධවුණාම අපේ රටේ නිදහස් අධ්‍යාපනය ලැබූ ,උසස්පෙළ ඉහලින් සමත්වූ ලමයින්ගේ ජීවිතවලට අහිමිවෙච්ච අවුරුදු දෙක , පෞද්ගලික අධ්‍යාපනය ලැබූ ලමයි අර්ථවත්ව සහ ජීවිතේ ජයගන්න පාවිච්චි කරලා තියෙන බව අපිට පේනවා.

    ඒකට හේතුව වෙලා තියෙන්නේ බටහිර,පෞද්ගලික අධ්‍යාපනය තුල ඇති මනා කලමනාකාරීත්වය මිසක් වෙන කිසිම දෙයක් නෙවෙයි කියලත් හැමෝටම තේරෙනවා ඇති.

    ලංකාවේ මිනිස්සුන්ගේ ඇස් කවදා ඇරේවිද??මෙහෙම ගියොත් ශ්‍රී ලංකාව දියුණු වේවිද?

    මේ විදියට අධ්‍යාපන ක්‍රමවේදයේ ඇති දුර්වලතා නිසා අපේ ශිෂ්‍ය පරම්පරාවට සිදුවෙන විපත සහ අසාධාරණය කවදා නතරවේවිද???

    "ලංකාවේ උසස් අධ්‍යාපනය නිසා සිසුන්ගේ කෙස් ගස් සුදුවීම කවදා නතර වේවිද?"  

23 comments:

  1. උඹේ කතාව හරි මිත්‍රයා. ඒ වුනත් ඉවර වෙලා ඉස්කෝලේ පටන් ගන්නකම් ඒ වගේම කැම්පස් පටන් ගන්නකම් උඩ බලන් ඉන්නේ නැතිව තමන්ගේ ඉදිරි ගමනට ඕන කරන දෙයක් කරගන්න පුලුවන්නේ. එහෙම නේද ? CIMA, CIM, AAT, HR, IT,වගේ ආණ්ඩුව මේ ගැන මොකුත් කරන්නේ නැත්නම් උන්ට බැන බැන ඉන්නේ නැතුව මෙහෙම එකක් හරි කරන්න පුලුවන්නේ :)

    ReplyDelete
  2. @ Hasitha - :))

    උඹ කියන දේට මම එකඟ නෑ සහෝදරයා!!!උඹ බලන්නේ කොලඹ කෝණයෙන්!!! ඔය කණ්ණාඩි ගලවලා ඕකට දාපං හම්බන්තොට,මොණරාගල,අනුරාධපුර,පොළොන්නරුව වගේ දුෂ්කර පළාත්වල ගොවිතැන් කරලා හරි කුලී වැඩ කරලා හරි හම්බුකරලා තමයින්ගේ ළමයින්ට උගන්නපු අහිංසක අම්මලා තාත්තලාගේ කණ්ණාඩි ජෝඩුවක්.දැං බලපං උඹට පේන්නෙ මොනවද කියලා?

    ණයතුරුස් ගෙවාගන්න උන්දෑලට තියෙන්නෙ පුතාට රස්සාවක් ලැබෙන දවස වෙනකං බලා ඉන්න.ඒ අම්මල තාත්තලා හිනා වෙන්නේ කවද්ද හසිත??බඩට නොකා උස් මහත් කරපු පොඩි එකා ලොකු මහත්තයෙක් වෙනකං ඒ අහිංසක ඇස් බලං ඉන්නවා සහෝදරයා!!!ඒ ඇස් හූල්ලනවා!!!ඒ දුක තෙරුං ගනිං.ජීවත් වෙන්නේ කොලඹ මිනිස්සු විතරක් නෙවෙයි!!!ඉගෙන ගන්නේ කොලඹ මිනිස්සු විතරක් නෙවෙයි!!!

    අපිට නොදැනුනාට ඒ මිනිස්සු හැමදාමත් දුකිං!!!!උංට CIMA, CIM, AAT, HR, IT කරන්න තියා , වේල් තුනක් බඩ පිරෙන්න කන්නවත් සල්ලි නැහැ මගේ මිත්‍රයා!!!

    සමාජීය විද්‍යාව ඉගෙන ගන්න මිනිහෙක් විදියට උඹ මටත් වඩා මේව ගැන දැනගන්න ඕනි නේද?

    මගේ පැත්තෙං මේ ප්‍රශ්නේ ගැන කතාකළොත් , මම දැනටම JAVA උපාධියක් කරනවා.තව මාස 6ක් ලැබුණාම ඒක ඉවර කරන්න පුළුවනි.ඒ නිසා සමහරවිට මම කැම්පස් යන්න කලිං , ප්‍රයිවට් උපාධියක් අරගනීවි B.Sc.(special in JAVA කියලා).මම ලිපිය ලිව්වේ මුළුමහත් ශිෂ්‍ය ප්‍රජාවම සලකලා මිසක් පෞද්ගලිකත්වය මත නෙවෙයි මිත්‍රයා!!!!

    මොනවාවුණත් උඹ හැමදාම මට මුලින්ම ප්‍රතිචාරයක් දෙනවා ලිපිවලට.ස්තුතියි මචෝ ඒකට :))

    ReplyDelete
  3. මට දැන් හිතෙනවා උඹේ කතාවේ ඇත්ත ලොක්කා. මාත් කමෙන්ට් කරන්නන් වාලේ කමෙන්ට් කලා මිසක් එච්චර හිතුවේ නැහැ.

    ඔව උඹ කියන කතාව හරි. කොළඹ කෝණෙන් හැම දේම බලන්න අපි පුරුදු වෙලා .ඒ වගේම අපිව හුරු කරලා. එක නිසානේ එහෙම හිතෙන්නේ.

    මොනවා වුණත් ඒ ළමයින්ට කරන්න ඉතුරු වෙන්නේ ඒ කාලේ තුළ ඒ පැත්තේ තියෙන ගාම්න්ට් එකක මොකක් හරි වැඩක් කරන්න යන එක තමා.

    අපිත් එක්ක කැම්පස් එකේ ඉන්න ඈත පැතිවලින් අපු අය හුඟක් එහෙම ඒවා කරපු අය. මම දන්න තරමින් පෙළක් අය තාමත් රැකියාවක් කරන් ගමන්ම පුලු පුලු විදිහට කැම්පස් එනවා උපාධියකුත් කරගන්න.

    කොහොම හරි ජිවිතේ ජයගන්න තමා ඒ අය උත්සාහ කරන්නේ.

    මෙහෙම කරන්න බැරිවෙන කොටසකුත් ඉන්නවා. ඒත් අර විදිහේ කට්ටියකුත් ඉන්නවා

    ReplyDelete
  4. මට තේරුණා මිත්‍රයා.
    ඒත් උඹ කෙලින්ම අරම දෙයක් කිව්වම මම ටිකක් පුදුම වුණා!!!උඹමද මේ කියලා :)

    කතාව ඇත්ත.කොලඹ ක්‍රමේට අපිව හුරු වෙලා.ඇත්තටම හුරු කරලා!!!

    ඉගෙන ගන්න ලමයි විඳින දුක දැක්කම කොලඹ ඉන්න අපි මොනවද දුක ගැන දන්නේ කියල හිතෙනව බං.

    ReplyDelete
  5. මේ කතාව මෙතැනින් ඉවර වෙන්නෙ නෑ... කැම්පස් එක ඇතුලට ගියාට පස්සෙ කාලේ නාස්ති වෙන එක ගණන් කලේ නෑනේ... දැන් කැම්පස් කීයක් ගුටි කෙලිය නිසා වහලද කියල බලන්න... මේ හැම එකෙන්ම තැලෙන්න දුප්පත් සිසුන් තමා....
    සල්ලි තියෙන මිනිහා ඉක්මනට තමන්ගෙ වැඩේ කරගන්නව... ජ්‍යාත්‍යන්තර පාසල්වල ඒ දෙවල් ඉක්මනට වෙන්නෙ සල්ලි ගෙවල ඉගෙන ගන්න නිසා.. අපේ අයත් කියයි "නිකන් දෙන අස්පයගෙ දත් ගනින්න එපා" කියල...ඒ උනත් මේ අධ්‍යාපන ක්‍රමය මීට වඩා කාර්යක්ෂම වෙන්න ඕනෙ... අන්තිමට ගණන් හදල බැලුවොත් උපාධිය අරන් එලියට එනකොට නිදහස් අධ්‍යාපනය ලබපු කෙනා ගෙවල ඉගෙන ගත්ත කෙනාට වඩා මුදලුයි කාලයයි දෙකම නාස්ති කරල තියෙනව වෙන්නත් පුළුවන්.

    ReplyDelete
  6. පැහැදිලිවම සහෝ!!!පැහැදිලිවම!!! එකම වෙනස නිදහස් අධ්‍යාපනේදි වැයවෙන මුදල් ගැන අපිට හැඟීමක් නැහැ.මොකද කෙලින්ම සාක්කුවෙන් නෙවෙයිනේ යන්නේ.ඒත් අපි හැමෝම බදු විදියට ගෙවන සල්ලි වියදං වෙන්නේ මේවා වෙනුවෙන් නේද කියලා ටිකක් හිතලා බැලුවොත් තෙරේවි අපි වියදං කරන තරං!!!

    ReplyDelete
  7. තව ඕකෙ අනිත් පැත්තකුත් තියෙනවා මිත්‍රයා.
    කට් ඕෆ් ආවට පස්සෙයි දැනගන්න ලැබුනේ සමහර දිස්ත්‍රික්ක වලින් වැඩිපුර ළමයින් ගන්න තවත් සමහර දිස්ත්‍රික්ක වල කෝටා අඩුකරලා. ( මීට කලින් කවදාවත් එහෙම වෙලා නෑ )
    ඒකෙන් වෙන්නේ මොකද ?
    දෙසැම්බර් රිසාල්ට්ස් ආපු අය කලින් කෝට බලලා සිලෙක්ට් ද නැද්ද කියලා තීරණය කරනවා. ඒක හැමදාමත් වෙන දෙයක්. රීකරෙක්ෂන් එනකොට ඔන්න මැයි ජූනි. එතකනුත් ඉන්නවා. කට් ඕෆ් ඇවිත්. සිලෙක්ට් වෙලා හිටපු අය දැන් සිලෙක්ට් වෙලා නෑ. ආයෙමත් A/L කරන්නත් බ්ඈ. තව මාසයයි. මේ දේට මුහුණ දුන් කෙනෙක්ගේ මානසික මට්ටම ගැන පොඩ්ඩක් හිතන්න.
    මොනව උනත් අපි මේවා කථා කරලා වැඩක් නෑ. මොකද මේවට විසඳුම් නෑ.
    ලියපු එක ගැන උඹට ස්තූතිය පල කරනවා

    ReplyDelete
  8. @ Anonymous - ඕක තවත් පැත්තක් නෙවෙයි කියලයි මට හිතෙන්නේ මිත්‍රයා.ඕක මේ ප්‍රශ්නෙම කොටසක් කියලයි මට හිතෙන්නේ.අපේ අධ්‍යාපන ක්‍රමවේදය ඇතුළේ ඉන්න කිසිම කෙනෙකුට තමංගේ අනාගතය ගැන කිසිම විශ්වාසයක් තියන්න බෑ කියන එකයි ඕකෙන් ඔප්පු වෙන්නෙ.හැබැයි ඒක හරිගස්සන්න තවත් 20 000 කගේ ජීවිතවලින් මාස 4ක් උදුරගන්න උසස් අධ්‍යාපන ඇමතිට තියෙන අයිතිය මොකක්ද කියලත් අපිට ප්‍රශ්න කරන්න වෙනවා!!!

    (කට් ඕෆ් ප්‍රශ්නේ ගැන මම පෞද්ගලිකව දන්නේ නැහැ.හැබැයි එහෙම දෙයක් වෙලා නම් , ඒකට පුදුම වෙන්නෙත් නැහැ.මොකද මේක ලංකාව නිසා)

    ස්තුතියි ප්‍රතිචාරයට මිත්‍රයා!!

    ReplyDelete
  9. කතාව නම් සම්පූර්ණ ඇත්ත. පුලු පුලුවන් උන් මොනා හරි කරල ගොඩ යනව, බැරි එකා ඉතින් පූරුවෙ පිනකට ගොඩ ගියේ නැත්නම් මේ කපේදි ගොඩ යෑමක් නෑ...

    අපි කොච්චර අපිට තියෙන පහසුකම් වල අඩු පාඩු ගැන අල්ලන් කෑ ගැහුවත් ලංකාවෙ බහුතරයක් එක්ක බලනකොට අපි සුර සැප විඳින්නෙ....

    ReplyDelete
  10. @ කොඩි - සහතික ඇත්ත මචෝ!!! අපි ඒ අතින් වාසනාවන්තයි

    ReplyDelete
  11. මරුම ලිපියක් මචං...කාලය කියන එකේ වටිනාකම අපේ රටේ උන්ට තේරුමක් නැහැ....මම ඇමරිකාවට පශ්චාත් උපාධියට ආවම තමයි ඕකෙ බරපතල කම වැඩියෙන් වැටහුනෙ... උසස් පෙළ පලමු පාර සමත් වෙලා අවුරුදු 4 ක උපාදිය හමාර කරල මෙහේ එන කොට අපිට වයස 25යි..නමුත් ඇමරිකාවෙ ළමයි අවුරුදු 23-22 හරි චීන ළමයි 21-20 වෙන කොට එක පටන් අරන්...ඔවුන් 26-27 වෙන කොට උපාධිය හමාර කරලත් ඉවරයි..අපේ තත්වය 30 වෙනකන් ඉන්න වෙනවා... ඔය කියන තත්වය අපේ කැම්පස් තුලත් තියෙනවා..විභාගයක ලකුනු දමන්න මාස ගනන් වද වෙන තත්වයක් නෙ තියෙන්නෙ..මෙහේ විභාගය පවත්වල සතියක් තුල ප්‍රතිඵල දෙන්න වෙනවා..ලංකාවෙ ඔය නීති තිබ්බට ක්‍රියාත්මක කරන එකම එක ආචාර්ය වරයෙක් විතරයි මට හම්බවෙලා තියෙන්නෙ...
    කැම්පස් ඇතුලෙ ඔය තත්වයට සරසවි සිසුනුත් වග කියන්න ඕන...සිසු සංගම් නායකයො කියන්න බාහිර සමාජයට භයෙන් සරසවි උප සංස්කෘතියට මුවා වෙලා සදාකල් ඉන්න බලන ජාතියක්... මම ජීවිතෙට අහල නැහැ ඉක්මනට තමුන්ගෙ ප්‍රතිඵල නිකුත් කරන්න කියල කළ උද්ඝෝෂණයක්... කැම්පස් එක වහගන්න උපරිම උත්සහයක් දරන්න නම් ඔවුන් පසුබට වෙන්නෙ නැහැ...

    අපේ සමාජයේ මූලිකවම දැඩි ආකල්පමය වෙනසක් සිදු වෙන්න ඕන මේවා වෙනස් වෙන්න..

    පට්ටම කාලොචිත ලිපියක් මචං... මෙන්න මගේ ප්‍රණාමය... දිගටම ලියපං...මම මේකට ප්‍රචාරයක් දෙන්න බලන්නම්... මොකද මේක හරි වටිනවා...

    ReplyDelete
  12. ජාල-කාල-කන්නියාJune 8, 2010 at 10:31 AM

    hitopan bathala/ manchokka kage hari idamaka
    1/3k deepan bim kuliya.

    Campus gihin jobak set kara ganna awurudu 3-4k yanawa. ekath sure ne ena widiyata.

    eta kalin umbata hodata salli hoyanna puluwan manchokka hitawala.

    mamath free welawata kochchi hitawanawa. kilowak Rs 200 ta bar eka laga bite kadeta deela beer ekak gannawa sathiyakata parak. agatath hodai, hithatath hodai :)

    ReplyDelete
  13. @ Ishara - බොහෝම ස්තුතියි සහෝ ප්‍රතිචාරයට සහ අගයකිරීමට.

    මටත් හිතෙන්නේ ලංකාවේ මිනිස්සුන්ට කාලයේ වටිනාකමක් නැහැ.දැන් ඔය කැම්පස් යන 20 000 ක් දෙනාම තමන්ගේ ජීවිතෙන් අවුරුදු 2ක් නාස්ති අරගෙනයි කැම්පස් ජීවිතේ පටං ගන්නෙත්.

    ඒ කියන්නේ ගනං හැදුවොත් 20 000 * 2 = 40 000 මිනිස් අවුරුදු!!!!මිනිස් අවුරුදු 40 000 කින් රටේ අනාගතයට,දියුනුවට කොච්චර දේවල් කරතෑකිද!!!!

    මිනිස් දිනවලින් ගත්තොත් 40 000* 365 = 14 600 000 ක් මිනිස් දින!!!!අලුතින් රටක්ම හදන්න පුළුවනි :))

    පැහැදිලිවම කාලය පිලිබඳ ආකල්පය සහ රටේ උසස් අධ්‍යාපන අරමුණු වෙනස් වෙන්න ඕනි.නැත්තං මේක කරන්න බැහැ.

    කවදා මේවා හැදේවිද දන්නේ නෑ!!! හැදුනු දවසට රට දියුනු වෙයි බලාගෙන ඉද්දි.

    මේක ප්‍රචාරය කරන්න මටත් ලොකු උවමනාවක් තියෙනවා.මොකද එතකොටවත් මේක ගැන කාගේ හරි ඇහැක් ඇරෙන්නේ නැතැයි.

    ස්තුතියි නැවතත් මිත්‍රයා!!

    ReplyDelete
  14. @ ජාල-කාල-කන්නියා - කතාව වටිනවා.

    කෙලින්ම නමින්ම දැම්මානං ඉවරනේ කොමෙන්ටුව.කමක් නෑ , මොනා උණත් උඹේ බිස්නස් එකට මම බාධා කරන්න කැමති නෑ , ඒ නිසා මම බතල හිටෝනවා.

    ReplyDelete
  15. mama kiyanne mechcharai.adyapana prashen visadanna private ubis daanna issella rajaye eka karyakshamawa karala idapalla.munta mewa efficient vidihata kranna kisi oni kamak nehe.mokada munta meewain kuttiya hamben nehe.a nisa thiyenawata thiyenna arinawa.nethnam results dennai athulata ganai mechchara kalayak moko?mechchra thaakshane diyunu wela thiyena kaleka?
    private uni demmoth aanduwe ewa anatha wenne me hinda.ewa salli viyadam karala hodata ihala nagiddi me haalparuwo tika anduwe ewa ohe welenna arala budiyagena innawata menna keta

    ReplyDelete
  16. @anonymous:
    ඔයා අයෙ මේක කියයිද කියන්න මම දන්නෙ නෑ. ඒත් ඔයාගෙ කතාවෙන් ඇතිවුන වැරදි වැටහීමක් නිවැරදි කරන්න මම මේක කියන්නෙ. කෝටා එක එහෙම වෙනස් කරන්න බෑ. එක ජන ස්ංඛ්‍යාව මත ගනනය කරන්නෙ. ඔය වෙනස වෙන්නෙ merit එකෙන් ගන්න අය නිසා.යම් දිස්ත්‍රික්කයක merit ගාන වැඩි නම් එකෙන් ගන්න ලමයි ගන ඉහල යනව. මම 2005 A/L කරේ. එ සැරේ 17 දෙනෙක් merit එකෙන් ගත්තා. ඒත් ඊලග පාර ඒ ගාන ගොඩක් අඩු වුනා මම දන්න විදියට. එහින්ද ගම්පහින් ගන්න ගානත් අඩු වුනා. එහෙම නැතුව කොටා එක කාටවත් ඔන විදියට වෙනස් කරන්න බෑ

    ReplyDelete
  17. @ anonymous - කතාව ඇත්ත.නිසි සැලැස්මක් නැතුව කරන වැඩවලින් වෙන්නේ නිදහස් අධ්‍යාපනේ ගැන මහජනතාවගේ හිතේ තියෙන ගෞරවය වගේම , පිලිගැනීමත් අඩුවෙන එක විතරයි.ඒක හරිම අවාසනාවන්ත තත්වයක් :(

    @ banuka - ඔව් ,කතාව හරි.

    කැම්පස් ගන්නේ මෙරිට් යන ගාන + ජන අනුපාතය අනුව දිස්ත්‍රික්කයට ලැබෙන අවස්ථා ප්‍රමාණය අනුවයි.

    ජන සංගණනයක් තියෙනකං හෝ , මෙරිට් ගාන වෙනස් කරනකං ඕකෙ වෙනසක් නැහැ.

    හැබැයි දිස්ත්‍රික් පදනම මත දුෂ්කර පළාත්වලට දෙන කෝටා එක වෙනසක් කරන්න පුළුවනි

    ReplyDelete
  18. ජාල-කාල-කන්නියාJune 8, 2010 at 9:18 PM

    @Hasitha , CIMA kiyanne kawda ban ? Campus ekata enakam computer ekak allannawath labuna nathi api wage unta mona CIMA da ban?

    ReplyDelete
  19. +1
    එකඟයි මල්ලි.
    ඇත්තටම අපේ රටේ තාරුණ්‍ය කියන එක වියැකිලා යනවා නිකරුණේ.
    ඔයා පෙන්නලා තියෙන්නේ එක පැතිකඩක්.
    මම දන්න තරමින් නම් විදෙස් රටවල විශ්ව විද්‍යාල කියන්නේ නව නිපැයුම් වල තිඹිරි ගෙවල්. නමුත් අපේ රටවල තත්වය, කියන්න කණගාටුයි.කෙනෙකුට තර්ක කරන්න පුලුවන් "කෝ අපේ රටවලට මුදල්" කියලා. ඒත් කරන නාස්තිය අඩුකරගත්තොත් ඇති තරම් මුදල් තියනවා. (අපේ සමහර උසස් අධ්‍යාපන ආයතනවල නේවාසිකාගාරවල සිසුන් නාන්න වතුර උනුකරන්නේ හීටරෙන් කියන එක දන්නවා ඇතිනේ.)හැම පැත්තම වගකියන්න ඕන මේ ඇතිවෙලා තියන තත්වයට.රජය,ජනතාව..... මේ හැම කෙනෙක්ම වගකියන්න ඕන.රටක් දියුණු වෙන්න මිනිස්සුන්ගේ ආකල්ප දියුණු වෙන්න ඕන කියලයි මම නම් පෞද්ගලිකව විශ්වාස කරන්නේ.‍ඒකට මිනිස්සුන්ට හිතන්න පුරුදු වෙන්න ඕ‍නි.ඒත් අපේ රටේ කීයෙන් කීදෙනාද හිතන්නේ. පේන හැටියට නම් ඔක්කෝම තියෙන්නේ රුයිතෙට.අනික බලන්න පාසල්වල, උසස් අධ්‍යාපන ආයතනවල "බුල කෙලින තාරුණ්‍ය" ,කරන කාල නාස්තිය......

    ReplyDelete
  20. උඹේ කතාවට 100% එකඟයි චාමරයෝ...

    ReplyDelete
  21. කෝටා එක වෙනස් කරන්න බැරි බව ඇත්ත. ඒක ලිඛිතව තියෙන කෝට එක පරණයි. පහුගිය අවුරැදු වල ඊට පස්සේ කෝට වැඩිකලේ ලිඛිතව නෙවෙයි. මේක මනංකල්පිත දෙයක් නෙවෙයි මිත්‍රයා.
    මම අත්දැකපු දෙයක්.
    ගියවර ගත්ත ගාණට වඩා අඩුවෙනුයි මේ පාර ගත්තේ.

    ReplyDelete
  22. @ Anonymous - කතාව ඇත්ත අයියේ.අපේ රටේ උසස් අධ්‍යාපනය විතරක් නෙවෙයි , පාසල් අධ්‍යාපනෙත් විනාස වෙලා.මේවා නොහදා මොනවාකළත් රට හදන්න බෑ.

    අනික අයියා කිව්වා වගේම කාලය ගැන කිසිම වටිනාකමක් නැහැ අපේ ඇත්තන්ට,ඒකම තමයි "0" ඉඳන් පටං ගත්තු ජපානේ , සිංගප්පූරුව වගේ රටවල් අහස උසට දියුණු වෙද්දී , අපේ රට එකම තැන පල්වෙන්නේ.


    ස්තුතියි ප්‍රතිචාරයට සහ අගය කිරීමට.

    @ මල්$han - ස්තුතියි මචෝ!!

    @ anonymous - වෙන්න පුළුවනි.උසස් අධ්‍යාපන ඇමතිගේ තනි කැමැත්තට 20 000ක් ශිෂ්‍යයෝ තමංගේ ජීවිතෙන් මාස 4කින් වන්දි ගෙවද්දි , ඔය කියන වගේ දේවල් වෙන එක පුදුමයක් නෙවෙයි.

    ReplyDelete
  23. @ ජාල-කාල-කන්නියා
    මුලින් මම එහෙම කිව්වා බව ඇත්ත. ඒත් ඊට පස්සේ මගේ අතින් වුණු වැරැද්ද නිවැරදි කරපු එක ඔයා දැක්කේ නැද්ද ?

    "මොනවා වුණත් ඒ ළමයින්ට කරන්න ඉතුරු වෙන්නේ ඒ කාලේ තුළ ඒ පැත්තේ තියෙන ගාම්න්ට් එකක මොකක් හරි වැඩක් කරන්න යන එක තමා.
    අපිත් එක්ක කැම්පස් එකේ ඉන්න ඈත පැතිවලින් අපු අය හුඟක් එහෙම ඒවා කරපු අය. මම දන්න තරමින් පෙළක් අය තාමත් රැකියාවක් කරන් ගමන්ම පුලු පුලු විදිහට කැම්පස් එනවා උපාධියකුත් කරගන්න.
    කොහොම හරි ජිවිතේ ජයගන්න තමා ඒ අය උත්සාහ කරන්නේ.
    මෙහෙම කරන්න බැරිවෙන කොටසකුත් ඉන්නවා. ඒත් අර විදිහේ කට්ටියකුත් ඉන්නවා............. "

    ReplyDelete

මගේ ජංජාලය කියවලා හිතුණේ මොනවද?
කියලම යන්න පල්ලෙහා තියෙන කොටුව ඇතුලේ :) :D