Monday, September 30, 2013

අද...



24 පැයකට,

සමරන ළමා දිනය,
අද ;
කොතෙක් නම් ළමුන්,
මෙහෙකාර සේවයේ,
ළමා අපචාරයේ,
ගොදුරු වනවා ඇද්ද??
කුසට අහරක්,
වතුර උගුරක්,
නැතිව දුක් විඳිනවා ඇද්ද??

ප.ලි. - නිසි නීති පනවා, ළමයින්ගේ අයිතීන් නිසිලෙස ආරක්ෂා නොකර , මුදල් වියදම් කරමින් රට පුරා,ලොව පුරා අඬබෙර ගැසූ පමණින් , ළමා දිනය අර්ථවත් නොවේ!

මාවතේ මතක සටහන්....


අපිට අපේ ජීවිත කාලේදී එක එක ආකාරයේ පුද්ගලයෝ මුණගැහෙනවා.ඒ හැම කෙනෙකුගේම ජීවිතවල අපිට ඉගෙනගන්න දේවල් බොහොමයක් තියෙනවා.
කැම්පස් එකේදී මුණගැහුණු , මට ජීවිතේ ගැන පාඩම් ගොඩක් කියලා දුන්නු එක්තරා වීරවරයෙක් ගැනයි මේ කතන්දරේ...

විශ්ව විද්‍යාලේ එකේ අපිත් එක්ක දමිල ළමයි ගොඩ දෙනෙක් ඉගෙනගන්නවා.සුරේෂ් කියන්නේ ඒ වගේ, අපේම විශ්ව විද්‍යාලේ අපේ දෙපාර්තමේන්තුවේ ඉගෙන ගන්න දමිල ළමයෙක්.කැම්පස් එකේ ගොඩක් අය නොදන්නවා වුනාට සුරේෂ් මේ තරම් දුරට ඉගෙනගෙන තියෙන්නේ බොහොම  මහන්සියෙන් කරදර ගොඩක් ඉවසා දරාගෙන. ඒ කතාව මම දැනගත්තේ අහම්බෙන්...මීට දින කිහිපෙකට කලින් ඉන්ටවල් එකේ දී කැන්ටින් එකෙන් ගත්තු ප්ලේන් ටී එකක් තොලගාන ගමන් මම අහපු අරුම පුදුම කතාවේ සාරාංශය තමයි අද මම මේ කියන්න යන්නේ...

සුරේෂ් ඉපදිලා තියෙන්නේ මුලතිව් මහා කැලේට මායිම් වෙලා තිබුණු පොඩි ගම්මානෙක .සුරේෂ් ඉස්කෝලේ ගිහින් තියෙන්නෙත් මුලතිව්.පොඩි කාලේ ඉඳන්ම ඉගෙනීමට අසාමාන්‍ය දක්ෂතාවයක් තිබුනත් , එයාලට ඉගෙනගන්න මහා ලොකු පහසුකම් තිබිලා නැහැ.එයාගේ අම්මයි තාත්තයි , සුරේෂ්ගේ පවුලේ 3 දෙනෙක්ව නඩත්තු කලේ ගොවිතැන් කරලා හම්බකරපු සොච්චම් මුදලින්.පවුලේ වැඩිමලා වුනු අයියා වැඩිදුර ඉගෙන ගත්තේ නැහැ.තමන්ගේ පවුලේ බර කරට අරගෙන නඩත්තු කරන්න දෙමවුපියෝ මහන්සි වෙනවා දැක්ක අයියා එයාගේ ඉස්කෝලේ ගමන අවුරුදු 14ක් වෙද්දී නවත්තනවා , එතකොට සුරේෂ් ගේ වයස 7යි.මුලතිව් ඉඳන් වවුනියා වලට බඩු අරගෙන යන ලොරියක වැඩට යන්න සුරේෂ්ගේ අයියා තීරණය කරනවා.අකමැත්තෙන් වුනත් අම්මයි තාත්තයි එයාට ඉඩ දෙනවා මොකද ළමයි 3 දෙනෙක් එක්ක ජීවත් වෙන්න , ගොවිතැනින් හම්බවුනු ආදායම කොහෙත්ම නොසෑහුනු නිසා... 

පොඩි කාලේ ඉඳන්ම සුරේෂ්ගේ අයියට පොත් කියවන පුරුද්දක් තිබුනා.අතට අහුවෙන ඕනිම පොතක් විතරක් නෙවෙයි , පොඩි පත්තර කෑල්ලක් වුනත් අහක නොදා කියවන්න එය පුරුදු වෙලා හිටියා. සුරේෂ් කියන විදියට සුරේෂ්ට පොත් කියවන්න පුරුදු කලෙත් අයියා. ඉස්කෝලේ ගමන අත් හැරියත් , පොත්පත් කියවන පුරුද්ද අතාරින්න නම් අයියා කැමති වෙලා නැහැ. එයා හැම සතියකම වවුනියා ගිහින් එද්දී මොකක්හරි පොතක් අරන් එන්න පුරුදු වෙලා ඉඳලා තියෙනවා. ඒ කවුරුවත් වෙනුවෙන් නෙවෙයි, අයියටත් වඩා පොත් වලට ආදරේ කරපු සුරේෂ් වෙනුවෙන්. ඉතින් මේ විදියට අයියා ගෙනත් දීපු පොත්පත් වලින් සුරේෂ් තව තවත් ඉගෙන ගන්න නැඹුරු වුනා. විෂය කරුණු විතරක් නෙවෙයි,මුළු ලෝකෙම ගැන හොඳ පරිපුර්ණ දැනුමක් එකතුකරගන්න සුරෙෂ්ට පුළුවන් වුනේ අයියා නිසා කියලයි අදටත් සුරේෂ් කියන්නේ... ඉතින් ඔය විදියට පවුලේ තත්වේ ටිකෙන් ටික යහපත් වේගෙන එනකොට කවුරුත් නොහිතපු විදියේ අකරතැබ්බයක්  සුරේෂ්ලට වෙනවා... ඒ අවුරුද්ද දරුණුවටම යුද්ධේ කෙරුණු අවුරුද්දක්... LTTE එකට වගේම රජයේ හමුදාවටත් බරපතල හානි සිද්ධවුණු කාලයක්.කිසිම කෙනෙක් හිතුවේ නැති වෙලාවක සුරේෂ්ලාගේ ගෙදරට LTTE එකෙන් පනිනවා.. LTTE  එකෙන් සුරේෂ්ගේ අයියව  බලහත්කාරෙන් පැහැරගෙන යනවා.LTTE එක යුද්ධෙට යවන්න අවසාන කාලේ සොල්දාදුවෝ එකතු කලේ ඒ විදියටලු..මේ සිද්ධිය වෙන වෙලාවේ සුරේෂ්ගේ අම්මා සුරේෂ්වයි එයාගේ නංගිවයි අරගෙන මහ කැලේට පැනලා හැන්ගෙනවා..සුරේෂ්ට මොනවද මේ වෙන්නේ කියල හිතන්නවත් වෙලාවක් තිබුනේ නැහැ...අයියව පැහැරගෙන යන්න හදනකොට ඒකට විරුද්ධ වුන තාත්තාට සිද්ධ වුනේ වෙඩි කාලා එතනම මැරෙන්න...

මේ විදියට ජීවිතේ කවමදාවත් නැති තරමට සුරේෂ් එයාගේ අම්මයි නංගියි එක්ක තනිවෙනවා... ඒ 2008 අවුරුද්ද... සුරේෂ් උසස්පෙළ ලියන්න හිටපු අවුරුද්ද...විභාගේ ගැන සුරෙෂ්ට ලොකු බලාපොරොත්තු තිබුනා.ඒත් ඒ හැමදෙයක්ම මේ කාලකන්නි යුද්ධේ ඉස්සරහ බොඳවෙලා යන හීන බවට පත්වෙමිනුයි තිබුනේ.යුද්ධේ තිබුණු දරුණුකම නිසාම 2008 දී උසස්පෙළ කරන්න සුරෙෂ්ට බැරි වෙනවා.උසස්පෙළ ගැන තිබුණු හීන බොඳවෙලා යද්දී , ජීවිතේ බේරගන්න මාස ගානක් තිස්සේ කැලේට වෙලා හැංගිලා ඉන්නයි සුරෙෂ්ලට සිද්ධ වෙන්නේ... අන්තිමට රජයේ හමුදාව මුලතිව් වල හිටපු සුරෙශ්ලාව බේරගනිද්දී  2009 අවුරුද්දත් පටන් අරගෙන ඉවරයි.. තාත්තයි , අයියයි සදහටම නැතිවුණු පවුලක බර කරට අරගෙන , නංගිවයි අම්මවයි ජීවත් කරවන්න සුරේෂ් තමන්ගේ අයියා ගත්තු තීරනෙම ගන්න සුදානම් වෙද්දී , සුරේෂ්ගේ අම්මා ඒකට ඉඩ දෙන්නේ නැහැ... පලවෙනි පාර විභාගේ කරන්න බැරිවුණු නිසා,මේ පාර කොහොමහරි විභාගේ කරගන්න කියන පන්නරය සුරෙෂ්ට හම්බවෙන්නේ එයාගේ ආදරණීය අම්මගෙන්...

“මම කොහොමහරි උඹලට කන්න බොන්න දෙන්නම් පුතේ..උඹ හොඳට ඉගෙන ගනින්...”

හැම අම්ම කෙනෙක් වගේම සුරේෂ්ගේ අම්මගේ එකම බලාපොරොත්තුව වුනේ තමන්ගේ පුතා හොඳට ඉගෙනගෙන හොඳ තැනකට එනවා දකින්නයි...එත් සුරේෂ්ට යන්න පන්ති තිබුනේ නැහැ, සුරේෂ් ආසාවෙන් ඉගෙනගන්න ගිය ඉස්කෝලේ,ඒ වෙනකොට සරණාගත කඳවුරක් වෙලා තිබුනා...ඒත් වාසනාවකට සුරේෂ් තමන්ගේ ජීවිතේටත් වඩා ආදරෙන් පරිස්සම් කරපු පොත් ටික එයාගේ පිහිටට එනවා...2008 උසස්පෙළ කරපු යාපනේ මිතුරෙකුගෙන් සුරෙෂ්ට ඕන වෙලා තිබුන,මග හැරුණු උසස් පෙළ සටහන් පොතුත් හම්බවෙනවා… සුරේෂ් මහන්සිවෙලා පාඩම් කරන්නේ තමන් වෙනුවෙන් විතරක් නෙවෙයි,සුරෙෂ්ට නැතිවුණු තාත්තගෙයි , අයියගෙයි එකම ආසාව ඉෂ්ට කරන්න වගේම අම්මයි නංගියි වෙනුවෙන් ලොකු වගකීමක් තියෙන බව දන්නා නිසා...  
රෑ , දවල් වෙනසක් නැතුව ටකරන් වලින් වටකරපු තාවකාලික මඩුවක ඉඳන් පාඩම් කරපු සුරේෂ් , 2009 උසස් පෙළ ලියන්න ඉදිරිපත් වෙනවා... ජීවිතේ මහා පෙරලියක් වෙන බව සුරේෂ් දැනගෙන ඉන්න නැතුව ඇති,ඒත් සුරේෂ් උසස් පෙළ ඉහලින්ම සමත් වෙන්නේ වවුනියා දිස්ත්‍රික්කයෙන් පළමු වැනි ස්ථානේ අරගෙනයි...

සුරේෂ් දැන් දෙවෙනි වසරේ සරසවි සිසුවෙක්.. තවත් අවුරුදු දෙකකින් එයා රටටම සේවය කරන මහා උගතෙක්...එයාගේ අම්මයි නංගියි වෙනුවෙන් හැම සතියකම අමතර පන්ති කරලා සල්ලි යවන්න සුරේෂ් අමතක කරන්නේ නැහැ... 

අමතර පන්ති නොයා, හරියට ඉස්කෝලෙවත්වත් යන්න විදියක් නැතුව, දුක් මහන්සියෙන් පොත පත කියවලා සරසවි වරම් ලබපු සුරේෂ් ඇත්තටම අපේ කාලයේ වීරයෙක්... 

මෙච්චර වෙලා මම කිව්වේ, ඔයාලා කියෙව්වේ, සුරංගනා කතාවක් නෙවෙයි.. නම ගම ටිකක් වෙනස් වුනත්,හැබැහින්ම අහන්නට ලැබුණු,අපි වගේම හුස්මගන්න,පොලවේ පය ගහලා ජීවත් වෙන තවත් එක මනුස්ස ආත්මෙක ඇතුලාන්තයක්... සුරේෂ් මට එයාගේ කතාව ඉවර කරලා, අන්තිමට කියපු දෙයක් මතකයි,මට කියවලා ඉගෙන ගන්න හරි පොත පත තිබුනා, ඒත් තවත් ගොඩක් දෙනෙකුට එහෙම කියවලා ඉගෙන ගන්න පොතක්වත් තිබුනේ නැහැ!ඒ සමහරු අදටත් දුක්වෙනවා ඉගෙනගන්න ආසාවක් තිබිලත්, ඉගෙන ගන්න අවස්ථාවක් නොතිබුණු එක ගැන...” 

කියවන්නට අවැසි , ඉගෙනීමට ආස කරන ළමයි සහසකුත් මේ රටේ හැම තැනකම ඇති... ඒත් සුරේෂ් කියනවා වගේ ඒ හැම දෙනෙක්ටම වාසනාවක් නැහැ … මොහොතක් හිතලා බලන්න... අපි කීදෙනෙක් පොත් කොච්චර නිකරුනේ ගොඩ ගහගෙන ඉන්නවද? එක පාරක් කියවපු පොත් කොච්චරක්නම් අපි තියාගෙන ඉන්නවද ආයෙමත් කිසිම දවසක නොකියවා?

ඒ වගේ පොත් සුරේෂ්ලා වගේ තවත් ඉගෙන ගන්න කැමති අහිංසක ළමයින් වෙනුවෙන් දෙන්න පුලුවන්නම් ඒක ලොකු උදව්වක් වෙනවා නේද?



"පොතක් පරිත්‍යාග කරමු , අනාගතයක්ම එලිය කරමු!" [DONATE A BOOK, LIGHT A FUTURE!] කියන තේමාව සහිතව , පොත් අවැසි අහිංසක දරුවන් උදෙසා ක්‍රියාත්මක වන "NEEDY READERS" සංසදය හරහා කෙරෙන්නේ පෙරකී අවශ්‍යතා සහිත දරුවන් උදෙසා පොත් පත්, "ඇති", "හැකි" අයගෙන් එකතුකොට බෙදාදීමයි..

මෙතනදී "ඇති", "හැකි" කියලා සඳහන් වෙන්නේ , තමන් පාවිච්චි කරපු ,වරක් කියවපු , ඒත් තවදුරටත් ඒ පොත් භාවිතා නොකර තබාගෙන ඉන්න උදවියයි...

ඉතින් ඔයාලටත් හිතෙනවා නම් , සුරේෂ් වගේ අහිංසක දරුවන්ගේ , අනාගතයක්ම ආලෝක කරන්නට , සුළු වශයෙන් හරි ආධාරයක් , උපකාරයක් කරන්නට අවශ්‍යයි කියලා ; එන්න! අත්වැල් බැඳගන්න අපිත් එක්ක... ඔබ පරිත්‍යාග කරන එක පොතක් , ජීවිත ගණනාවක් වෙනස් කරන්නට උදව්වක් වේවි!

"පොතක් පරිත්‍යාග කරමු , අනාගතයක්ම එලිය කරමු!" වැඩිදුර තොරතුරු : වෙබ් පිටුව , මුහුණු පොතේ පිටුව

Monday, April 15, 2013

"මම ඔයාට ආදරෙයි!"





හැමෝම කතා කරන , හැමෝම දන්නා කියන , ජීවිතේ එක පාරක් හරි අත්විඳපු , එත් තවමත් කාටවත්ම


තේරුම් ගන්න බැරිවුණු , ලොකුම අභිරහස් වචනය ; "ආදරය" ඉපදුනු දවසේ ඉඳන් අම්මගේ තාත්තගේ 

ආදරේට හුරුවුණු අපි , ළමා කාලේ වෙද්දී යාලුවන්ගේ ආදරේට හුරුවෙනවා.තරුණ කාලේ එද්දී , 

වෙනමම අරුතක් එක්ක ආදරේ හොයාගෙන යන්න අපි හැමෝම පෙළඹෙනවා. ජීවිතේ කොයි තරම් ආදරේ 

වින්දත් , මේ තරුණ කාලේ විරුද්ධ ලිංගික ආදරය තරම් ජීවිතේ වෙනස් කරවන , ජීවිතේට පාඩම් 

උගන්වන,අත්දැකීම අරගෙන එන වෙනත් ආදරයක් නැති තරම්! 

අපි ඒ "අමුතු ආදරය" ගැන කෙටියෙන් කතාකරමු.....


"මම ඔයාට ආදරෙයි!"



තරුණ කාලේ මේ වචන තුන තරම් , ඇඟට දැනෙන වචන ටිකක් නැති තරම්! අපි හැමෝම ආදරේ කරන්න 

ආසයි , කැමතියි.තමන් වෙනුවෙන් ජීවත් වෙනවා කියලා දැනෙන , තමන්ගේ අදහස් බෙදාහදාගන්න 

පුළුවන් , හිතේ තියෙන ඕනිම දෙයක් බයක් නැතුව කියන්න පුළුවන් , තවත් කෙනෙක් මේ ලෝකේ

ඉන්නවා කියන හැගීම , ජීවිතේ ලොකු වෙනසක් ඇති කරවන බලවේගයක්!



අපි ආදරේ කරන්නේ ඇයි? කවුරු හරි එහෙම ඇහුවොත් , අපිට දෙන්න සරල උත්තරයක් නැති වෙන්න 

පුළුවන්.ඒත් ආදරේ කිරීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ආරක්ෂාවක් සහ රැකවරණයක් කියලා 

කිව්වොත් ?? ඒ උත්තරේ සරල වුනත් , තනිකරම ඇත්තක් නේද?



අපි ඒ ගැන හිතලා බලමු..,



අපි කාටවත්ම තනියම ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ! මිනිසා කියන්නේ සමාජශීලී සත්වයෙක්. 

එකිනකාගේ උදව් , උපකාර මත ජීවිතේ ගොඩනගන සත්වයෙක්. ආදරේ කියන සංකල්පය ඇතුලේ , අපි

ගොඩනගන්නේ පෙර කියපු ඒ සමාජශීලී මානසික බැඳීම. තවකෙකු සමඟ එක්ව ජීවත්වීමේ පරමාර්ථය , 

එකිනෙකා වෙනුවෙන් සහයෝගය දෙමින් ජීවත් වීම කියන කාරණාව.


හැබැයි , වර්තමාන ආදරය , වානිජ්‍යකරණයට ලක්වුණු , රැකවරණය සහ ආරක්ෂාව කියන මුලික පදනමෙන්

ඉවත්වුණු පුහු වචනයකට පමණක් සීමාවුණු සංකල්පයක් බවට පත්වෙලා.




"වේදනාවෙන් තොර ආදරයක් නොමැත!"



කියන කියමන සත්‍යයක් බවට පත්වෙලා තියෙන්නේ පෙරකී කරුණ නිසා. ආදරය කියන්නේ වේදනාවක්

පොදී බැඳගත් හැඟීමක් නෙවෙයි. වචනයක් වචනයක් පාසා විශ්වාසවන්ත , හැඟීමක් හැඟීමක් පාසා පාරිශුද්ධ 

, එකිනෙකාගේ හැඟීම් වලට ගරු කරන , එකිනෙකාගේ වෙනස්කම් වලට ගරු කරන මිනිසකු සහ 

ගැහැනියක [පිළිගත් සම්මත සමාජ රීතින් මත පිහිටා! ඉන් අපගමනය වූ සංකල්ප ගැන සටහන් කර 

නොමැත!] අතර ඇතිවන මානසික සහ ශාරීරික [සංවාදයට බඳුන් කලයුතු මාතෘකාවක්] බැඳීම , ආදරය

වෙනුවෙන් දෙන්න පුළුවන් හොඳම අර්ථකතනයක්.



" කාලය සමඟ , ආදරය වෙනස් වේ!" ; ඕනෑම දෙයක "වෙනස්වීම" , 


සාමාන්‍ය සංසිද්ධියක්...



හොඳට හෝ නරකට ආදරය කියන්නෙත් හැඟීම් මුල් කරගත් බැඳීමක්! හැඟීම් කියන්නේ මොහොතින් 

මොහොත වෙනස්වන දෙයක්.පදනම වෙනස් වනවිට , ප්‍රතිපලය වෙනස් වීම සරල සාධාරණ සත්‍යයක්!



"නොවෙනස් ආදරයකට ඉඩක් නැද්ද?"



ශක්තිමත් පදනමක් සහිත ගොඩනැගිල්ලක් , ශක්තිමත් වන්නාසේම , ශක්තිමත් පදනමක් සහිත බැඳීමක් , 

බොහෝකල් නොවෙනස්! තවත් හිතල බැලුවොත් , ආදරය වෙනස්වීම , ආදරය අඩුවීම , ආදරය 

නොදැනීම සහ අවසානයේ ආදරය අහිමිවීම , ජීවිතයේ අවසානය නොවේ! එය තවත් බැඳීමක අවසානයක් 

පමණයි! ජීවිත කතා පොතේ ,තවත් එක අලුත් පිටුවක් විතරයි!



ඒ අතරතුර,



"සමහර ආදර අන්දර , සදාකාලිකයි"



වෙනස්කම් දකින , වෙනසට ගරුකරන , වෙනස ඉදිරියේ වෙනස් වියහැකි නුවණැති මිනිසුන්ගේ ආදරය 

සදාකාලික වීම සරල සංසිද්ධියක්.


වෙනස ඉදිරියේ කඩාවැටෙන , වෙනසක් දරාගත නොහැකිව හඬාවැටෙන , සැකය පෙරදැරිකරගෙන 

බිඳවැටෙන , "ආදරය" , සංකල්පීයව දුර්වල පදනමක් සහිත "බැඳීමක්!". 

සිතුවිල්ලකට පමණක් සීමාවුණු , වචනයකට පමණක් කොටුවුණු "හැඟීමක්!".



ඒ වගේමයි,



තමන්ගේ කරගැනීම ආදරය නොවේ! තමන්ට පමණක් අයිතිකරගැනීම ආදරය නොවේ! සමාජශීලී සත්වයකු

ලෙස , මිනිසා , තවත් මිනිසුන් සමඟ , සමාජගතව එහි ජීවත්විය යුතුයි. සමාජය තුල ඔහු හෝ ඇය 

තමන්ගේම කියා පෞර්ෂයක් ගොඩනැගිය යුතුයි! ආදරය යන සංකල්පය නිසා , එම අවස්ථා අහිමි කරගැනීම

හෝ අහිමි කරවීම , "ආදරය" දුර්වල කරවීමට හේතුවක් වීම වැලැක්විය නොහැකියි! ඒ නිසා , ආදරය 

වෙනුවෙන් පරිත්‍යාගයන් කිරීම "විහිළුවකි!". ආදරය වෙනුවෙන් ජීවත්වීම "දුර්වල තීරණයකි!". ආදරය 

තමන්ගේම කරගැනීම"මෝඩකමකි!".ඒ නිසා , සහයෝගයෙන් , ශක්තිමත් පදනමක් සහිතව , 

නිවැරදි දැකීමකින් , "ආදරය" කරන්න. ජීවිතේ වැරදීම අඩු වේවි! කලකිරීම් නැතිවේවි! සතුට වැඩිවේවි! 

ජීවිතය සාර්ථක වේවි!අපි හැමෝම හීනදකින , ප්‍රයෝගිකත්වයෙන් ඔබ්බට ගිය සංකල්පීය ආදරයක් ,   

අපේ ජීවිතවලටත් "ප්‍රයෝගිකවම" ලංවේවි!


ජය!



ප.ලි. : මේ මට හිතුනු දේවල්! හරිත් ඇති , වැරදිත් ඇති!

Thursday, January 31, 2013

මෙන්න ලාබෙට ඩොමේන් එකක්!!!



  හැමෝම දන්නවනේ .com ඩොමේන් එකක් ගන්න රුපියල් 1600 [$ 12.99 ] ක් විතර ඕනි කියලා.මෙන්න ලෝකේ අංක එකේ  ඩොමේන් නාම සපයන්නා GoDaddy $ 2.95 ක් වැනි ඉතාම අඩු මුදලකට .com ඩොමේන් විකුනනවා !! ගිහින්ම බලන්න! දෙවෙනි අවුරුද්දටත් එක පාරම ගෙවනවනම් තවත් $ 7.99 විතරයි වැය වෙන්නේ.

මුළු වියදම අවුරුදු දෙකකටම $10.94 විතරමයි!!  හැබැයි මේ DEAL එක වලංගු අපි මිලදීගන්න එක ඩොමේන් එකකට විතරයි!!දැන්ම දුවන්න!! ගිහිල්ලා අරගන්න!!!



ප.ලි. : බයවෙන්නෙපා... Referrals , අරව මෙව්වා නැහැ! කෙලින්ම Godaddy Deals පිටුවටයි ලින්ක් එක!! :) හදිසියේම දැක්ක නිසයි බෙදාහදාගන්න හිතුනේ!! :)

Thursday, July 12, 2012

ජයපැන් බොන්න , ඔබත් එක්වන්න....


ජයපැන් බොන්න , ඔබත් එක්වන්න....



මෝරු හයේ ගහනා වැහි විඳ ගන්න
කොලඹ විකට් ගැලවෙන හඬ අහගන්න 
අවසන් මහා තරඟෙට පේරා යන්න
සෙට් වෙමු නේද කට්ටිය ෆන් එක ගන්න

තාමත් කොළඹ කැම්පස් එක දෙවෙනි තැන
ඉන්නේ මෝරු ජය අරගෙන පළමු තැන
ජය ගත් පසුව ඉරිදා දින පේරාවල
ඉන්නට වෙන්නේ උංහට සැඟවී ගෙවල

Inter Uni කිරුල මෝරට පලඳන්න
වසරක මහන්සියෙ මුදු මල් පලගන්න
දොලොස් වසක් ගිලිහුනු කිරුලක් ගන්න
MORA සැවොම ඉරිදට පේරට එන්න

**පේරා - පේරාදෙණිය විශ්ව විද්‍යාලය


නිමිත්ත : මේ මස 15 වැනි ඉරිදා දින ,මොරටු විශ්ව විද්‍යාලය සහ කොළඹ විශ්ව විද්‍යාලය අතර , පේරාදෙණිය විශ්ව විද්‍යාලයේදී පැවැත්වෙන අන්තර් විශ්ව විද්‍යාලයීය ක්‍රිකට් තරඟාවලියේ , අවසන් මහා ක්‍රිකට් ගැටුම.


ප.ලි : මේ වනවිට මොරටු විශ්ව විද්‍යාලය , අන්තර් විශ්ව විද්‍යාලයීය ක්‍රීඩා තරඟාවලියේ සමස්ත ලකුණු සටහනේ පෙරමුණ ගෙන තිබෙන අතර , කොළඹ විශ්ව විද්‍යාලය දෙවන ස්ථානයේ පසු වේ.මෙම ක්‍රිකට් තරඟය ජයග්‍රහණය කළහොත් , මෙවර අන්තර් විශ්ව විද්‍යාලයීය ක්‍රීඩා තරඟාවලියේ  සමස්ත ලකුණු සටහනේ , තව දුරටත් පෙරමුණ ගැනීමට මොරටු විශ්ව විද්‍යාලයට හැකිවනු ඇත.

Sunday, June 24, 2012

අවුරුදු 4 එක 8න් දෙනවා!!!! එන්න අරගන්න!!! ලංකාවේ විතරයි....








විජාතික බලවේග


සතුරු කුමන්ත්‍රණ

ඩයස්පෝරාවේ ඇඟිලි ගැසීම්


සියල්ල පරදවමින්


ඉදිරියටම ඇදෙන


ආශ්චර්යමත් සිරි ලාංකීය


දේසපාලුවන්ගේ


විශිෂ්ට , උත්කෘෂ්ට


උසස් අධ්‍යාපනික


ඉදිරි දැක්මේ


බල මහිමය


++++++++