Showing posts with label ක්‍රිකට්. Show all posts
Showing posts with label ක්‍රිකට්. Show all posts

Thursday, July 12, 2012

ජයපැන් බොන්න , ඔබත් එක්වන්න....


ජයපැන් බොන්න , ඔබත් එක්වන්න....



මෝරු හයේ ගහනා වැහි විඳ ගන්න
කොලඹ විකට් ගැලවෙන හඬ අහගන්න 
අවසන් මහා තරඟෙට පේරා යන්න
සෙට් වෙමු නේද කට්ටිය ෆන් එක ගන්න

තාමත් කොළඹ කැම්පස් එක දෙවෙනි තැන
ඉන්නේ මෝරු ජය අරගෙන පළමු තැන
ජය ගත් පසුව ඉරිදා දින පේරාවල
ඉන්නට වෙන්නේ උංහට සැඟවී ගෙවල

Inter Uni කිරුල මෝරට පලඳන්න
වසරක මහන්සියෙ මුදු මල් පලගන්න
දොලොස් වසක් ගිලිහුනු කිරුලක් ගන්න
MORA සැවොම ඉරිදට පේරට එන්න

**පේරා - පේරාදෙණිය විශ්ව විද්‍යාලය


නිමිත්ත : මේ මස 15 වැනි ඉරිදා දින ,මොරටු විශ්ව විද්‍යාලය සහ කොළඹ විශ්ව විද්‍යාලය අතර , පේරාදෙණිය විශ්ව විද්‍යාලයේදී පැවැත්වෙන අන්තර් විශ්ව විද්‍යාලයීය ක්‍රිකට් තරඟාවලියේ , අවසන් මහා ක්‍රිකට් ගැටුම.


ප.ලි : මේ වනවිට මොරටු විශ්ව විද්‍යාලය , අන්තර් විශ්ව විද්‍යාලයීය ක්‍රීඩා තරඟාවලියේ සමස්ත ලකුණු සටහනේ පෙරමුණ ගෙන තිබෙන අතර , කොළඹ විශ්ව විද්‍යාලය දෙවන ස්ථානයේ පසු වේ.මෙම ක්‍රිකට් තරඟය ජයග්‍රහණය කළහොත් , මෙවර අන්තර් විශ්ව විද්‍යාලයීය ක්‍රීඩා තරඟාවලියේ  සමස්ත ලකුණු සටහනේ , තව දුරටත් පෙරමුණ ගැනීමට මොරටු විශ්ව විද්‍යාලයට හැකිවනු ඇත.

Friday, June 4, 2010

බොලිවුඩ් කැමරාව ඉදිරියේ වියපත් මන්ත්‍රීතුමාගේ ක්‍රිකට් හැකියාව නිරුවත් වේ...

              කවුරුත් දන්නා පරිදි ලංකාව තුළ මේ වන විට ඉන්දියානු බොලිවුඩ් සිනමාවේ එක් ස්වර්ණමය උළෙලක් පැවැත්වෙනවා.ඒ තමයි අයිෆා (IIFA) සම්මාන උළෙල.මීට සමාන්තරව විලාසිතා දැක්මක් සහ ක්‍රිකට් තරඟාවලියක්ද පැවැත්වුණා.බොලිවුඩයේ සුපිරි තරු සහභාගීත්වය සහිත මෙම අවස්ථා කෙරෙහිද මුළු ලොව පුරා විසිරී සිටින බොලිවුඩ් ලෝලීන් ඇස් දල්වා බලා සිටින්නේ සම්මාන උළෙලට දක්වන්නා තරම්ම වූ කුතුහලයකින්.

    විලාසිතා දැක්ම ඊයේ (ජුනි 3) රාත්‍රියේ පැවැත්වූවා.එය නැරඹීමට අප වැනි හුදී ජනයාට අවස්ථාවක් තිබුනේ නැහැ.ඒත් අද තිබිච්ච (ජුනි 4) සුපිරි තරු සහභාගී වුණු ක්‍රිකට් තරඟයනං රූපවාහිනියෙන් පෙන්නුවා.අපිටත් ඉතිං ක්‍රිකට් කිව්වොත් වෙන මුකුත් එපානේ , ඉතිං මම අද මේ මැච් දෙක බැළුවා.

     මැච් එක බලන්න ඇවිත් හිටපු කෙල්ලො කොල්ලො දඟලපු හැටි දැක්කම මට පුදුමත් හිතුණා , මම මේ ඉන්නේ ලංකාවෙද එහෙමත් නැත්තං ඉන්දියාවෙද කියලා.එච්චරටම ආසාවක් , ආදරයක් තමයි අපේ මිනිස්සුන්ගෙ හැසිරීමෙන් ප්‍රකාශ වුණේ.(ඒක ගැන වෙනම සටහනක ලියන්න තමයි ඉන්නේ :)))) )

      පළවෙනි මැච් එක තිබ්බේ සංගක්කාරගේ කණ්ඩායමයි , සුනිල් ශෙට්ටිගේ කණ්ඩායමයි අතරේ.තරඟයේ කාසිය වාසිය බලන්න කාසිය උඩ දාන්න ආවේ නාමල් රාජපක්ෂ මැතිතුමා.හැබැයි ඒ වෙලාවේ කාසියක් තිබුණේ නැහැ උඩ දාන්න.වෙලාවට ලඟ හිටපු පොරක් සාක්කුව අතගාලා රුපියලේ කාසියක්ද කොහෙදෝ හොයලා දුන්නා.ඔන්න සංගා දින්නා.

     සංගා බැට් කරන්න තීරණය කලා.ඕපනින් ආවේ අපේ කලුවිතාරණයි අවිශ්කයි.ගැහුවා ගැහුවා....නළුවන්ට එලෝ එලෝ ගැහුවා මුං දෙන්නා.ඒ අස්සේ බෝල් කරපු අපේ ක්‍රිකොට් ටීම් එකේ මහරුෆ්ටත් (තරු ටීම් එකේ මහේලයි , මහරුෆුයි , විනොද් කම්බ්ලියි හිටියා) මුං දෙන්න ගැහුවා උණ ගැනෙන්න.

     ඕවර 5ක් වෙනකොටත් කවුරුත් අවුට් නොවිච්ච නිසා , කලුවයි අවිශ්කයි ක්‍රීඩාගාරයට ගියා සිය කැමැත්තෙන්ම.ඊට පස්සෙ ආවෙ සංගයි අරවින්දයි.ඔහොම ගහගෙන ගහගෙන ගිහිං අන්තිම ඕවරේදිත් රුවන් කල්පගේ ගැහුවා විනොද් කම්බ්ලිට 6 ඒවම 4ක්!!!!

     ඉතිං කොහොමින් කොහොමින් හරි ඕවර 10 ය ඉවර වෙද්දී සංගාගේ ටීම් එක 141 ක් ගහල තිබ්බා කවුරුත් නොදැවී.ඒත් පිතිකරුවො 4 දෙනෙක් සිය කැමැත්තෙන් ඉවත් වුණා අනික් පිතිකරුවන්ටත් අවස්ථාවක් දෙන්න ඕනි නිසා.ඊට පස්සෙ බැට් කරන ආවේ තරු කණ්ඩායම.ඕවර 10 ඉවර වෙනකොට තරු කණ්ඩායමට ගහන්න පුලුවං වුනේ ලකුණු 78 ක් විතරයි.ඉතිං සංගලා දින්නා.

හොඳම තරඟේ ඊලඟ එක.මේක තිබ්බේ කලින් තරඟේ දිනපු සංගාගේ කණඩායමයි රිතික් රොෂාන්ගේ කණ්ඩායමයි අතරේ (රිතික්ගෙ කණ්ඩායම උණාට රිතික් හිටියේ නෑ ඕං!!!!)

    මේකෙත් කාසිය වාසිය දින්නේ සංගා.ඒත් නිවේදක මන්දිරා බේඩිගේ තනි තීරණය අනුව ප්‍රතිවාදීන්ට අවස්ථාව දුන්නා තීරණය කරන්න මොකද කරන්නේ කියලා.ඔවුන් ආරාධනා කලා සංගලට බැට් කරන්න කියලා.

     ඉතිං සංගලා ආපහු ගැහුවා.ඔන්න ඕපනින් බැට්ස්මන්ලා දෙන්නා ආවා.අප්පට හුඩු!!!!අවිශ්ක සමග නාමල් රාජපක්ෂ මැතිතුමා!!!!ඔන්න පලවෙනි ඕවරේ නාමල් ගැහුවා 4ක්.ඊට පස්සේ 5 වෙනි බෝලෙට අවුට් වෙලා ගියා.ඊලඟට ආවා සංගා.ඒත් සංගටයි අවිශ්කටයි වැඩිවෙලා ඉන්න හම්බුණේ නැහැ.දෙන්නවම අවුට් කරගන්න අජේ ජඩේජා සමත් වුණා.

     මීලඟ පිතිකරුවා!!!!!!!!!!!කවුද??????කවුරුත් නෙවෙයි අපේ මුත්තයියා!!!4 වෙනියට ආවේ මුත්තයියා.මම හැමදාමත් කියනවා මුත්තයියාගේ පිතිකරණයට මීට වඩා තැනක් ලැබෙන්න ඕනි කියලා ලංකා කණ්ඩායම ඇතුලේ.:)))))))අදවත් අවස්ථාවක් ලැබුණා කියලා මමත් සතුටු වුණා.මගේ කියමන ඇත්ත කරලා මුත්තයියා ගැහුවා දැවැන්ත 6ක් අපේ මාලිංගගේ පන්දුවකට.[මාලිංග එක තැන ඉඳන් සීනි බෝල පන්දුවක් තමයි දැම්මේ.අනික 4 සීමාව යාර 40 ක තමයි තිබ්බේ.ඒ මොනා උණත් දෙයියනේ 6ක්නේ!!!!:))))))))))))]

    ඊලඟ ඕවරේ අපේ වියපත් මන්තිරිතුමාගෙන්.මිනිහට තමයි වැරදුනේ!!!!ගැහුවා මුරලි 6 ඒවා 2ක්ම එකපිට.පොඩ්ඩක් හිතන්නකෝ, සනත් බෝල් කලේ , 6 දෙකම ගැහුවේ මුරලි!!!!! ෆන් එකේ උපරිමය!!!!ඊලඟට බැට් කරන්න ආවේ කවුද???කවුද ඉතිං!!!!සුනිල් ශෙට්ටි!!!!කලිං මැච් එක පැරදිච්ච කණ්ඩායමේ නායකයා!!!මෑන්ස් සංගගේ කණ්ඩායමට මාරුවක් අරං :))))

       කොහොම කොහොමහරි ඕවර 10 තරඟේ ඕවර 8කට සීමාකලා ආලෝක තත්වය අවුල්වෙන නිසා.තරු කණ්ඩාඅයමේ ඉලක්කය වුණේ ලකුණු 88ක් පන්දු වාර 8 ක් ඇතුලතදි.දැන් ඉතින් තරු කණ්ඩායමේ බලාපොරොත්තුව වුණේ සනත්!!!!(සනත්,මාලිංග,අජේ-ජඩේජා තරු පිලට ක්‍රීඩාකළා )

     සනත් ආවා,සනත් ගියා!!!!
      ලකුණු ගැහුවදත් මන්දා.ඕක ඉතිං අපිනං දැනං හිටියා.(යාර 40 පිට්ටනියකදිවත් [මුරලිට වුණත් 6ක් ගහන්න පුළුවං තැනක] සනත්ට අයෙමත් 6ක් ගහන්න බැරි බව.)ජොලිම වැඩේ කියන්නේ සනත් අවුට් වුණේ අපේ සංගක්කාර යවපු බෝලෙකට!!!!:))))

    කොහොමහරි අන්තිමට තරු කණ්ඩායම පැරදුනා ලකුණු 16කින්.

  මොනවා වුණත් තරඟ දෙකම ඉතාම විනෝදජනකයි.බැට්ස්මන් අවුට් උණාම බෝල්කරපු එකා ගාවට ගිහිල්ලා සුභ පතලා යනව දැක්ක එකම තරඟාවලියත් මේක.ඉතිං තවත් කවර කතාද!!!!! :)))))

   මොනා වුණත් අපේ මන්තිරිතුමා (සනත්) බොලිවුඩ් කැමරාව ඉදිරියේ ආපහු තමන්ගේ හැකියාවත් එක්ක නිරුවත් වුණාදෝ!!! කියලා මට හිතුණා.


 [ෆොටෝ එක ගත්තු තැන ඔන්න ෆොටෝ එකේම තියෙනවා]

ඔයාලට මොකද හිතුණේ ? හිතෙන්නේ ?

Saturday, May 15, 2010

මන්ත්‍රීතුමනි , දැන්වත් ක්‍රිකට් වලින් ඉවත් වෙමු ද?

        ක්‍රිකට් කියන්නේ ලංකාවෙ අපි අතර ජනප්‍රියම ක්‍රීඩාව කිව්වොත් කවුරු වුනත් පිලිගනීවි.අපි වුණත් ඉතිං පොඩි කාලේ ඉඳන්ම කරපු සෙල්ලමක්නෙ මේ ක්‍රිකට්.දැන් වුණත් මැච් එකක් තියෙන දවසකට බාල ,මහළු කියල භේදයක් නැතුව අනිත් වැඩ ඔක්කොම අමතක කරල දාල හැමෝම වගේ මුල්තැන දෙන්නේ මැච් එකට නොවැ.ඒකෙන්ම තෙරෙනව ක්‍රිකට් අපේ ඇට මිදුළු වලටම කාවැදිලා කියලා.

      ඒකට හේතු ගොඩාක් තියෙනවා.මෙතෙක් අපේ ක්‍රීඩා ඉතිහාසයේ අපි රටක් විදියට අපේ නම මුළු ලෝකටම අරං ගියේ මේ ක්‍රිකට් ක්‍රීඩාව වීම තමයි ඒවයිං ප්‍රධානම කාරණාව.මොකද අපේ රටේ කොතරම් ක්‍රීඩා තිබුණත් ලෝක මට්ටමෙන් ජයග්‍රහණ වැඩිපුරම අරං තියෙන්නේ මේ ක්‍රිකට් හරහා.ඒකෙ උච්චතම අවස්ථාව තමයි 1996 ලාංකීය ක්‍රිකට් කණ්ඩායම ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීම.

      කොහොමිං කොහොම වුණත් එදා 1996 අපේ ටීම් එක ලෝක කුසලානේ දිනාගනිද්දී ,ඔය ටීම් එකේ හිටියා එතෙක් මෙතෙක් තුර ලෝක එක්දින ක්‍රිකට් ඉතිහාසෙට අළුත් පරිච්ඡේදයක් එකතු කරපු අරුම පුදුම ප්‍රහාරාත්මක පිතිකරණයක නියැලුණු දෙන්නෙක්.ඒ වෙන කවුරුත් නෙවෙයි,සනත් ජයසූරිය සහ රොමේෂ් කලුවිතාරණ කියන අපේ වීරයෝ දෙන්නා.මේ දෙන්නා එකතු වෙලා අනිත් රටවල් වල පන්දු යවන්නන්ට එලව එලවා පහර දුන්නු හැටි හැමෝටම මතකයිනේ!!!!( මටත් ටිකාක් මතකයි.අපි ඉතිං ඒ දවස් වල පොඩි උං නොවැ!!! )

    1996 ලෝක කුසලානෙං පස්සෙ මුළු ක්‍රිකට් ලෝකම මේ අපූරු පිතිකරු යුගලය , සනත් සහ කළු ගැන කතා බහ කලා.මෙහෙම පටං ගත්තු සනත් කළු සුසංයෝගය වසර කීපයක් යනකංම ඉතාම සාර්ථක වුනා. ඒත් පසු කාලීනව (  2004 දී ) කළු ට කණ්ඩායමෙන් ඉවත්වුනා ඔහුගේ පිතිකරණ රිද්මය නැතිව ගිය නිසා.නමුත් මතක් කල යුතුයි ඔහු ඉවත් වුනේ බොහෝම ගෞරවාන්විතව ,සිය කැමැත්තෙනුයි.මොකද ඔහු වටහා ගත්තා තමන්ගේ කාලය අවසන් බවත්,නවකයන්ට අවස්ථාවක් ලබා දිය යුතු බවත්.

        ඔය අතරේ ඔහුගේ සගයා , සනත් දිගින් දිගටම කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කලා.කිහිප වරක්ම නිසි රිද්මයේ නොසිටීම නිසා කිහිප වරක්ම කණ්ඩායමෙන් එලියට විසි වුණත් , ආපහු තමන්ගේ ස්ථානය ලබාගන්න සනත් ට පුළුවං වුණා.හැබැයි ඒ හැම වතාවකම සනත් ලෝකට ඔප්පු කලා තමං තවමත් මේ ක්‍රීඩවට සුදුසු මානසික හා කායික යෝග්‍යතාවක ඉන්නවා කියලා සහ නැවත සුපුරුදු දස්කම් අතරට ඇවිත් මුලු ක්‍රිකට් ලෝකටම පෙන්නුවා තමංට තවමත් හොඳ පිතිකරණ හැකියාවක් තියෙනවා කියලා.

     නමුත් පසුගිය නිමාවුණු T-20 ලෝක කුසලානයේදි ඔහු පෙන්වපු දස්කම කිසි සේත්ම අනුමත කළ නොහැකි මට්ටමේ තමයි පැවතුණේ.මුලු තරඟාවලිය තුලදීම ඔහු ලබාගත්තේ ලකුණු 15 ක් පමණයි.කඩුළු ලබාගත්තේ එකක් පමණයි.මය කිසිසේත් හොඳ දස්කමක් නෙවෙයි.මේ දුර්වලතාව නිසා සනත්ට ආදරේ කරපු ප්‍රේක්ෂකයෝ සහ ක්‍රිකට් විචාරකයෝ පවා කියන්නේ සනත් ගේ වසර 20 ක ක්‍රිකට් දිවියේ අවසානය වෙත ඔහු ලඟා වී ඇති බවයි.

       නමුත් සනත් පවසන අන්දමට ඔහු 2011 පන්දු වාර 50 ලෝක කුසාලනය තෙක් රැඳී ඉන්නවාලු.එය ඔහුගේ අරමුණයි.නමුත් මෙම තත්වයත් එක්ක සනත් ගැන අපේ හිතේ තිබුනු ගෞරවය පවා ටිකෙන් ටික අඩු වෙමින් පවතිනව කියන එක නොරහසක්.බහුතරයකුගේ මතය ඔහු ක්‍රිකට් වලින් සමුගෙන නවකයෙකුට අවස්ථාව ලබා දිය යුතුයි කියන එකයි.මේකට තවත් හේතුවක් වෙලා තියෙන්නේ සනත් මේ වෙනකොට පාර්ලිමේන්තුවේ රජයේ මන්ත්‍රීවරයෙකු විදියට පත් වෙලා තිබීමත් , මේ නිසා ඔහු කාර්ය බහුල වීමෙන් ක්‍රිකට් කෙරෙහි තිබුණු උනන්දුව අඩු වෙලාදෝ කියන සැකය මහජනතාවගෙ හිත් වල ඇති වෙලා තියෙන නිසයි.

   කෙසේ වුණත් පැහැදිලිව පෙනෙන යථාර්තය නං සනත් ට දැං පෙර පරිදි දස්කම් පාන්න බැහැ කියන එකයි.මේ නිසා ඔහු විසින් කළ යුතු හොඳම දේ ක්‍රිකට් වලට සමු දීලා , නවක ක්‍රීඩකයකුට අවස්ථාව දීම බවයි මගේත් පෞද්ගලික අදහස.හැබැයි අමතක කරන්න එපා සනත් කියන්නේ ලෝක පූජිත ක්‍රීඩකයෙක්.අපේ රට ලෝකේ ඉස්සරහා, දැවැන්ත රටක් කරන්න සක්‍රීයව දායක වුණ පුද්ගලයෙක්.

    ඒ නිසා අපි ඔහුගෙං ගෞරවයෙන් ඉල්ලමු ,  " ආදරණීය සනත් මන්ත්‍රීතුමනි , දැන්වත් ක්‍රිකට් වලින් ඉවත් වෙමු ද? " කියලා.

මොකක්ද මේ ගැන ඔබේ අදහස???

-----------------------------------------------------------------------------------------------------------

සනත්ගේ ක්‍රිකට් දස්කම් : මෙතන කොටන්න
කළුගේ ක්‍රිකට් දස්කම් : මෙතන කොටන්න