Showing posts with label ජනමාධ්‍ය. Show all posts
Showing posts with label ජනමාධ්‍ය. Show all posts

Saturday, May 8, 2010

ඔස්ටියෝපොරොසිස් , ජනමාධ්‍ය සහ අපේ කාන්තාව

       " ඔස්ටියෝපොරොසිස් "(Osteoporosis) : අද සමාජය තුල වඩාත් දකින්නට හා අසන්නට ලැබෙන නමක්.මෙය වයස 50 ඉක්මවූ කාන්තාවන් අතර වැඩි ලෙස පවතින,අස්ථි දුර්වලතා රෝගයක් ලෙස අපි බොහො දෙනා සිතනවා.නමුත් මෙම රෝග තත්වය ගැන බොහෝ දෙනෙක් අතර තිබෙන , මේ මතය ගැන යමක් විමසා බැලිය යුතුයි කියලයි මට හිතුනේ.
      මම වෛද්‍ය විද්‍යාව ගැන ඒ තරම් දන්නේ නං නැහැ,ඒ වුනත් ජංජාලේ සැරිසරල හොයගත්තු විදියටනං මේ රෝගයෙදි සිදු වෙන්නෙ වයසට යාමත් සමඟ අස්ථිවල ස්ථරය හීන වීමෙන් ඒව ඉක්මනින් කැඩී බිඳී යන තත්වයට පත්වීම සහ කුදු ස්වභාවය ඇති වීමයි.
     නමුත් මෙහිදී අපගේ අවධානය යොමු වියයුතු අපි නොදන්න කරුණු කීපයක් තියෙනවා.එවා තමයි ;


1) මෙම රෝගය කාන්තා පාර්ශවයට පමනක් සීමා වූ රෝගයක් නෙවෙයි
2) සෑම කාන්තාවකටම මෙය වයස 50 ඉක්මවූ පමනින් නොවැලඳේ
3) අධික ලෙස මත්පැන් පානය කරන සහ ව්‍යායාම අඩු පිරිමින්ට මෙය වැලඳීමේ සම්භාවිතාව ඉතා ඉහලයි
4) මෙය වලක්වාගැනීමට ,වයස 25 ට පමණ පෙර ,ඉතා හොඳින් කැල්සියම් අඩංගු ආහාර පාන ලබාගතයුතුයි 

     නමුත් ලංකාව තුල ප්‍රචාරය වන ඔස්ටියෝපොරොසිස් රෝගය සම්බන්ඳ දැන්වීම් (කිරිපිටි සමාගමක් විසින් ප්‍රචාරය කරන ) මගින් මෙරට සමාජයට ලබාදෙමින් පවතිනුයේ මීට හාත්පසින්ම වෙනස් පනිවිඩයක්.එම පිරිස පවසන්නේ මෙය වයස 50 ඉක්මවූ කාන්තාවන්ට පමනක් වැළඳෙන රොගයක් බවත් , එම කිරිපිටි වර්ගය පානය කිරීමෙන් එම තත්වය මග හරවා ගත හැකි බවත්ය.සමාජයේ යහපත උදෙසා යැයි කියමින් ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක්ද සම්බන්ඳ කරගනිමින් මෙවැනි දැන්වීමක් ප්‍රචාරය කරන බව සමාජයට පෙන්වූවත්,මෙය ඔවුන්ගේ කිරිපිටි විකුණා ගැනීමටම පමනක් සීමාවූ දැන්වීමක් බව අපට පැහැදිලි වන්නේ මෙම දැන්වීම තුල මෙය කාන්තාවන්ට පමණක් වැළඳෙන රෝගයක් ලෙස හුවා දැක්වීම , එය වලක්වාගැනීමට එම කිරි පිටි වර්ගය පානය කරන ලෙස කරන ඉල්ලීමෙනුත්ය.තවද මෙම කැල්සියම් සිරුරට ලබා ගැනීම , කාන්තාවකුගේ සම්පූර්ණ වර්ධනයට පෙර (වයස 25 ට පමණ පෙර ) කල යුත්තක් බව නොපැවසීම තුල ඔවුන්ගේ කුහකත්වය තව තවත් තහවුරු වෙනවා.

    ඉතින් මෙවැනි තත්වයක් තුල අපේ කාන්තාවන් වැඩි වැඩියෙන් එම කිරි පිටි බීමට නැඹුරු වී සිටිනවා.ඒත් රෝගයෙන් මිදීමට එය පමණක් ප්‍රමාණවත් ද යන්නත් ,එම කිරි පිටි වර්ගයෙන් අවශ්‍ය කැල්සියම් සිරුරට ලැබෙනවාද යන්නත් අප ඉදිරියේ තිබෙන ප්‍රධාන ගැටළු කීපයක්.

වෛද්‍යවරුන් පවසන පරිදි මෙම රෝගයෙන් මිදීමට කළ යුතු දෑ මේවාය ;


1) දිනපතා ව්‍යායාම කිරීම
2) පූර්ණ වර්ධනයට පෙර හොඳින් කැල්සියම් සිරුරට ලබා ගැනීම (වයස 25 ට පෙර )
3) අලුත් පලතුරු ආහාරයට එක් කර ගැනීම , ජලය යහමින් පානය කිරීම සහ ක්ෂණික ආහාර වලින් හැකි තරම් ඉවත් වී ස්වභාවික ආහාර ගැනීමට පුරුදු පුහුණු වීම
4) නිවැරදි ඉරියව් පවත්වාගැනීම
5) මත්ද්‍රව්‍ය භාවිතය අවම කිරීම

     එම නිසා මෙවැනි පෙරකී පෞද්ගලික සමාගම් විසින් මාධ්‍ය හරහා සමාජගතකරන පනිවිඩ කෙතරම් දුරට සත්‍යදැයි පරීක්ෂාකර බලා,සමාජගත මෙවැනි සුලභ රෝග තත්ව හා ඒවායෙන් මිදීමට ගතයුතු නිවැරදි ක්‍රියා මාර්ග මොනවාද යන්න පිලිබඳව රජය හා සෞඛ්‍ය අංශ විසින් , සමාජය නිවැරදිව දැනුවත් කළ යුතු කාලය එලඹ ඇති බව මගේ පෞද්ගලික හැඟීමයි.

මේ පිලිබඳව ඔබේ අදහස කුමක් ද?

වැඩි දුරටත්  දැනගැනීමට ( ඉංග්‍රීසියෙන් ) :