Showing posts with label කැම්පස් සටහන්. Show all posts
Showing posts with label කැම්පස් සටහන්. Show all posts

Thursday, July 12, 2012

ජයපැන් බොන්න , ඔබත් එක්වන්න....


ජයපැන් බොන්න , ඔබත් එක්වන්න....



මෝරු හයේ ගහනා වැහි විඳ ගන්න
කොලඹ විකට් ගැලවෙන හඬ අහගන්න 
අවසන් මහා තරඟෙට පේරා යන්න
සෙට් වෙමු නේද කට්ටිය ෆන් එක ගන්න

තාමත් කොළඹ කැම්පස් එක දෙවෙනි තැන
ඉන්නේ මෝරු ජය අරගෙන පළමු තැන
ජය ගත් පසුව ඉරිදා දින පේරාවල
ඉන්නට වෙන්නේ උංහට සැඟවී ගෙවල

Inter Uni කිරුල මෝරට පලඳන්න
වසරක මහන්සියෙ මුදු මල් පලගන්න
දොලොස් වසක් ගිලිහුනු කිරුලක් ගන්න
MORA සැවොම ඉරිදට පේරට එන්න

**පේරා - පේරාදෙණිය විශ්ව විද්‍යාලය


නිමිත්ත : මේ මස 15 වැනි ඉරිදා දින ,මොරටු විශ්ව විද්‍යාලය සහ කොළඹ විශ්ව විද්‍යාලය අතර , පේරාදෙණිය විශ්ව විද්‍යාලයේදී පැවැත්වෙන අන්තර් විශ්ව විද්‍යාලයීය ක්‍රිකට් තරඟාවලියේ , අවසන් මහා ක්‍රිකට් ගැටුම.


ප.ලි : මේ වනවිට මොරටු විශ්ව විද්‍යාලය , අන්තර් විශ්ව විද්‍යාලයීය ක්‍රීඩා තරඟාවලියේ සමස්ත ලකුණු සටහනේ පෙරමුණ ගෙන තිබෙන අතර , කොළඹ විශ්ව විද්‍යාලය දෙවන ස්ථානයේ පසු වේ.මෙම ක්‍රිකට් තරඟය ජයග්‍රහණය කළහොත් , මෙවර අන්තර් විශ්ව විද්‍යාලයීය ක්‍රීඩා තරඟාවලියේ  සමස්ත ලකුණු සටහනේ , තව දුරටත් පෙරමුණ ගැනීමට මොරටු විශ්ව විද්‍යාලයට හැකිවනු ඇත.

Sunday, June 24, 2012

අවුරුදු 4 එක 8න් දෙනවා!!!! එන්න අරගන්න!!! ලංකාවේ විතරයි....








විජාතික බලවේග


සතුරු කුමන්ත්‍රණ

ඩයස්පෝරාවේ ඇඟිලි ගැසීම්


සියල්ල පරදවමින්


ඉදිරියටම ඇදෙන


ආශ්චර්යමත් සිරි ලාංකීය


දේසපාලුවන්ගේ


විශිෂ්ට , උත්කෘෂ්ට


උසස් අධ්‍යාපනික


ඉදිරි දැක්මේ


බල මහිමය


++++++++











Thursday, June 14, 2012

පටන් ගන්නේ නැද්ද ඕයි!!!



විභාග ගොඩදාගෙන ,
රෑ දවල් පොත් බදාගෙන,
නින්දක්,කෑමක් හරියට නැතුව,
විශ්ව විද්‍යාලෙට ගාටපු,
අතේ සතේ නැති,
අහිංසකයෝ ටික,
ඇස්.බී. ගේ පුරාජේරු අහ අහා,
academic , non-academic,
strike එක්ක පොරකකා,
තාමත් හොස්ටල් කැන්ටින් එකෙන්,
රුපියල් 5 ට අඩු කකා,
කර කියාගන්න දෙයක් නැතුව,
බලං ඉන්නවා,
කැම්පස් ආපහු පටන් ගන්නකල්,
උන්ගේ ජීවිත ජයගන්න,
ඩිග්‍රිය ඉවරකරලා,
ජොබ් කට්ටක් හොයාගන්න.... 


ප.ලි. : 


Saturday, January 7, 2012

දෙකේ ලකුණු පළමුව වෙනමම හෙවුවා............... අරගෙන දෙකම ඉන්පසු කෙරුවෙමු "මෙව්වා".......

මේ පාර උසස්පෙළ විභාගේ ප්‍රතිඵල ගැන ගොඩ දෙනෙක් එක එක ආකාරයේ විචාර ලබාදුන්නා.සමහර විචාර ප්‍රසිද්ධියේ පල කරන්න බැරි තරං තරහ උතුරන ආකාරයේ ප්‍රකාශන වුනා.දැනට මම ජංජාලේ දැකපු ලස්සනම විචාරය මෙන්න මේ දැන් මම උපුටගත්තා මොරටුව ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමයේ නිල බ්ලොග් අඩවියෙන්.


==============================================


දෙකේ ලකුණු පළමුව වෙනමම හෙවුවා............... අරගෙන දෙකම ඉන්පසු කෙරුවෙමු "මෙව්වා"........








සදෙව් ලොවට අධ්පති සක් දෙවිදු                    මෙමා
මගෙ පොඩි පුතා ලිවුවෙත් මේ පාර                   තමා
දැනගනු පිණිස පුතු ප්‍රතිඵල නොවී                     පමා
ඉක්මන් කරන ලෙස දැනුවත් කළෙමි            "කොමා"

ප්‍රතිඵල නිකුත් වී මොහොතක් ගෙවෙන               විට
මට වැටහුණා හොඳ හැටි ඉක්මනෙහි               කොට
සදෙව් ලොවම කැළඹී ප්‍රතිඵලය                         පිට
එන්නට හදනවා ඇතුළට කඩන්                        වැට

දේවිය යවා පුතු ප්‍රතිඵල බලන                        රිසින්
කැදවූයෙමි කොමා වූ තතු අසන                   ලෙසින්
පහලට නැමුණු මුහුණින් බිම හැරුණු              ඇසින්
පහදන්නට කරුණු ඇරඹිණි කොමා                 විසින්

සිලබස් දෙකක කට්ටිය එකටම                      ලිවුවා
වරදක් නැතිව අපි එක ලකුණක්                    මැවුවා
දෙකේ ලකුණු පළමුව වෙනමම                   හෙවුවා
අරගෙන දෙකම ඉන්පසු කෙරුවෙමු             මෙව්වා

ඔහුගේ කතාවේ අග මුල නැති                       හන්දා
ඉගෙනුම් බාර දෙවියා අසලට                       කැන්දා
විමසූවෙමි කරුණු හද තුළ සැක                     රන්දා
පුතුගේ ප්‍රතිඵලය මක් වේවිද                         මන්දා

ඔය රජතුමනි අපෙ ලොව දෙවියගෙ               ගතිය
කෑ ගැහුවාට ඒ හැටි අවුලක්                        නැතිය
හැදුවේ සූත්‍රය නිදි මරමින්                          සතිය
ඒකට යොදා ගත්තේ අපි                        ජ්‍යාමිතිය

ඔහොම වැඩක්මයි තොපි නම් කළොත්         කලේ
කොහොමද මෙහෙම ගියොතින් මම ඉන්නෙ  බලේ
ඇදගෙන නාලා තොපි මේ බොර කෙරුව        ජලේ
යමරජු මාළු බානව ඇති ඉහන්                      වළේ

මාතලීට ඇත දැන් හොදටම                       කිපිලා
උගෙ පුතු හට නෑලු තව ප්‍රතිඵල                 ලැබිලා
බැලුවම කාරණා එහි පතුලට                      එබිලා
ඩ්‍රයිවින් පේපරේ කුණු කූඩෙක                 තිබිලා

තාමත් සිහිය නෑ මල් අම්මගෙ                        දූට
බය වුණු පාර අද මේ සිදු උන                       දේට
සදෙව් ලොවෙන් දහවෙනියා වුණු                  ඈට
තුසිතෙන් සීය ලැබුණාම පවසම්                    කාට

පංචසිකට හැදිලලු කැක්කුම                      ඔලුවේ
වීණාවෙන්ලු පුතාට තරහට                       තැලුවේ
සංගීතයෙන් උගෙ පුතු කොහොමද            හැලුවේ
ඌගෙම පියා නම් එහි පේපර්ස්                  බැලුවේ

වගකීමක් නැතිව මුන් පුටු වල                      ලෑවා
මුන් ටික මගේ නම රහ කර කර                   කෑවා
මින් මතු කිසි දිනක නොම වන්නට               ඕවා
දැන්වත් ඉගෙන ගත යුතු පාඩම්                   මේවා

යන විට සබාවේ ඔය විදිහට                       ගෝරි
කෑ ගහගෙන දිව ආවා නොවැ                       බාරි
පොඩි පුතු ලිවුවේ තනතුරකට                  බලධාරි
අන්තපුරේටලු ඌ ඇත්තේ                          තේරි


-- ලිව්වේ සදෙව් ලොවට අධ්පති (චමිඳු මිහිරංග)

==============================================

-- උපුටාගන්නා ලද්දේ මොරටුව ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමයේ නිල  බ්ලොග් අඩවියෙන්.

==============================================

සුපුරුදු පරිදි මේ නිර්මාණය කරලා තියෙන්නේ අපේ සහෝදර ශිෂ්‍ය චමිඳු මිහිරංග විසින්.මීට කලින් ඔහු විසින් පෞද්ගලික විශ්ව විද්‍යාල ගැන පල කරපු ලිපිය කියවන්න මෙන්න මෙතනින්..

==============================================

Sunday, December 25, 2011

අසව්,අසව්!! ජංජාලයා නළුවෙක් වෙයි....

ඔබ සැමට සාමය සතුට පිරි සුබ නත්තලක්ම වේවා!!! :)))))))

ජංජාලයා හෙවත් මම ජංජාලෙන් අතුරුදන් වෙලා හිටපු කාලේ එක එක වැඩ කළා කියල කලින් ලිපියන් මං කිව්වනේ.අද මම නත්තල් තෑග්ගක් විදියට මගේ බ්ලොග් අවකාශේ මිතුරන්ට දෙන්න යන්නේ අන්න එහෙම කළා කිව්ව කෙටි චිත්‍රපටියක්.[මාත් ඔන්න  ඕකේ එහෙං මෙහෙන් ඉන්නවා ඉතිං :)) ;)) ]

ඇත්තටම මේක කලේ අපේ පලවෙනි semester ඒකෙන පස්සේ ආපු term A කියන අධ්‍යයන කාල සීමාවේදී.එතැනදී අපිට තාක්ෂණික නොවූ විෂයක් තෝරාගන්න ඉඩ දීලා තිබුනා.ඉතින් මාත් මගේ ලඟම යාළුවො සෙට් එකත් තෝරාගත්තේ video production හෙවත් චලනරූප නිර්මාණකරණය කියන විෂය.එතනදි අපිට projects 3 ක් දෙනවා කරන්න.එකක් තමයි කෙටි චිත්‍රපටයක් හෝ ගීතයක් සඳහා රූපකරණයක් [Music video ],දෙවෙනි එක සජීවී නිර්මානකරණයක් [Live production] සහ තෙවනුව විනාඩි 5 ට අඩු mobi film එකක්.කරන්න ඕනි 3 ක් වුනාට මොකෝ , ආසාව වැඩි කමට අපි ඔය 4 ම කළා ඉතිං :))

කෙටි චිත්‍රපටය ගැන කියනවනං ඇත්තටම මේක අපි කරන්න හිතාගෙන හිටපු එක නෙවෙයි.මීට වැඩ ගොඩක් වෙනස්,අලුත් තාලෙක කතාවක් සහ දුර බැහැර පසුතල යොදාගෙන නිර්මාණයක් කරන්න තමයි අපේ අදහස තිබුනේ මුලදී.ඒත් විවිධ ගැටළු සහ දුෂ්කරතා නිසා අපිට සිද්ධ වුනා ක්ෂණිකව වෙනත් තේමාවක් සහිත කතාවකට යන්න.ඇත්තටම කතාව පැත්තෙන් ගත්තොත් ලොකු සාර්ථක නිර්මාණයක් කියන්න බැරි වුණත්,පලවෙනි නිර්මාණය විදියට ගොඩාක් සතුටු වෙන්න පුළුවන් මට්ටමක නිර්මාණයක් කියලා තමයි අපිටනං හිතුනේ.ඔයාලටත් එහෙම හිතුනොත් ඒක එහෙම තමයි හොඳේ??? :))

විස්තර කිව්වා ඇති දැන්.මෙන්න film එක.

නිෂ්පාදනය : OPEN Minds video production crew [ජංජාල චාමර,චමිඳු මිහිරංග,සුරංග මුණසිංහ,ටිරෝෂන් මදුසංක,මිහිර ලක්රුවන් ]
අධ්‍යක්ෂණය සහ තිර රචනය : චමිඳු මිහිරංග 
සහය අධ්‍යක්ෂණය : සුරංග මුණසිංහ
කතාව : ජංජාල චාමර ;)
කැමරාකරණය : ටිරෝෂන් මදුසංක
ආලෝකකරණය : මිහිර ලක්රුවන්
සංගීතය : විශ්මි
තේමා ගීතය : සංජය 





film එකත් එක්ක ඒකෙ තේමා ගීතයට රූප රචනාවකුත් කළා .මෙන්න ඒක.





ඉතිං මේක බලලා ප්‍රතිචාරයක් එහෙම දාලා යන්න අමතක කරන්න එපා හොඳේ!!! ජංජාල වේදිකාගතවූ හැටි කියන්නම් ඊළඟ ලිපියකින්.


Wednesday, December 7, 2011

මම මැරිලා නෑ ඕයි!!!

කට්ටියට අමතක වෙලා එහෙම නැතුව ඇතිනේ ජංජාලව!!!

අවුරුද්දකටත් වඩා වැඩි කාලයක් , ජංජාල චාමරගේ ජංජාලේ නිහඬව තිබුනා.ඒ කාලේදි වැඩ වැඩි වුණු නිසයි,කැම්පස් යන්න ඕනි නිසා බෝඩිමක නතරවුනු නිසයි තමයි ජංජාලේ නිහඬ කරවන්න සිද්ධවුණේ.ඒත් මම ඉඳලා හිටලා මගේ කතාපොත නං ලිව්වා ඕං !

ඒත් මම අර කලිං ලිපියක කිව්වා වගේ මට ලැප්ටොප් එකකුයි , ජංජාල සබඳතාවකුයි දැන් තියෙනවා.ඒ නිසා ඉස්සරහට ඉඳල හිටලා හරි ලිපියක් ලියනවා කියල මේ දැංමම මම හිතාගත්තා.

ජංජාලේ නිහඬව තිබුණු කාලේ ගොඩාක් දේවල් සිද්ද වුණා ජංජාලට.කැම්පස් එකේ අලුත් විෂය ධාරාවක ඉගෙනගන්න වුනා,ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමයට තේරී පත්වුනා,නිවේදකයෙක් වෙන්න සිද්ධ වුනා,වේදිකා නාට්‍ය නළුවෙක් වුණා වගේම චිත්‍රපට නළුවෙකුත් වෙන්න සිද්ධ වුනා!!

ඉතිං  මේ හැමදේම ගැන ටික ටික ලියන්නං ඉඩ ලැබෙන විදියට.එහෙනං හම්බවෙමු ඉක්මනින්ම...

Sunday, September 5, 2010

ExMO 2010 - වසරේ දැවැන්තම තාක්ෂණික ප්‍රදර්ශනය සැප්තැම්බර් මසදී

"කටුබැද්ද ඉංජිනේරු පීඨය" ; දශක ගණනාවක් තිස්සේ රටට ඉංජිනේරුවරුන් බිහිකල සරසවි පීඨය , ආයෙමත් ලොකු වැඩක් කරන්නයි හදන්නේ.ඒ තමා ExMO 2010  තාක්ෂණික ප්‍රදර්ශනය.මේක පැවැත්වෙන්නේ මේ මාසේ 9 , 10 , 11 ( සැප්තැම්බර් 9/10/11 ) කියන දවස් තුනේ.ප්‍රදර්ශනය උදේ 9 ඉඳන් රෑ 7 වෙනකන් මොරටු සරසවි භූමියෙදි පැවැත්වෙනවා.ExMO ප්‍රදර්ශනය තුලදී නවතම තාක්ෂණික නිර්මාණ රාශියක් දැක බලාගන්න හැමෝටම පුලුවන් වේවී.මේ තාක්ෂණික නිර්මාණ ප්‍රධාන කොටස් කීපයක් යටතේ ඕගොල්ලන්ට බලාගන්න පුලුවන් වේවී.ඒ තමා ; 

• Chemical and Process Engineering
• Civil Engineering
• Computer Science and Engineering
• Earth Resources Engineering
• Electrical Engineering
• Electronic and Telecommunication Engineering
• Mathematics
• Material Science and Engineering
• Mechanical Engineering
• Transport and Logistics Management
• Textiles and Clothing Technology/Fashion Design


පැහැදිලිවම මේ ප්‍රදර්ශනය මේ වසරේ හොඳම තාක්ෂණික ප්‍රදර්ශනය වනවාට කිසිම සැකයක් නෑ.මොකද කටුබැද්ද සරසවිය තමයි ලංකාවේ හොඳම ඉංජිනේරු පීඨය.ඉතිං හැමදාමත් රටේ සංවර්ධනයට දායකවෙන අපේ බුද්ධිමත් සරසවි ශිෂ්‍ය ප්‍රජාව මේ වතාවේ ඉදිරිපත් කරන්නේ රටේ ඉදිරි අනාගතය තීරණය කරන නවතම නිර්මාණ සමුදායක්.ඉතිං තාක්ෂණික නිර්මාණ ගැන වගේම නව සිතුවිලි සංකල්ප ඇති සියලු දෙනාටම ආරධනා කරනවා , "එන්න , ExMO ප්‍රදර්ශනය  බලන්න , ඔබේ දැනුමට යමක් එකතු කරගන්න" කියලා.

ඒ වගේමයි සිංහල බ්ලොග් අවකාශේ ඉන්න හැමෝටම විශේෂයෙන්ම ආරාධනා කරනවා මේ ප්‍රදර්ශනේ බලන්න ඇවිත් යන්න කියලා.

ස්ථානය - මොරටු සරසවි භූමිය
දිනයන් - සැප්තැම්බර් 9/10/11
වේලාව - උදේ 9 සිට රාත්‍රී 7 වනතුරු

වැඩි දුර විස්තර දැනගන්න මෙතන කොටන්න >>  http://www.exmo.lk/

Saturday, July 31, 2010

කැම්පස් ජීවිතේ ෆන් කෝටියයි!!! [ කැම්පස් සටහන් 3 ]

පහුගිය සති දෙකේ ගෙදර ආවත් ජංජාලේට මුකුත්ම ලියලා එක්කරන්න තරං වෙලාවක් තිබුණේ නෑ.ඔන්න ඒ නිසා අදවත් ලියන්න හිතුවා අපේ කැම්පස් එකේ අලුත් ජීවිතේ ගැන තව විස්තර ටිකක්.

අපිට "ඇක" [ ඒ කිව්වේ academic ] පටං ගන්නේ අගෝස්තු 23 ඉඳන්.ඉතිං එතකන්ම තියෙන්නේ pre-academic term එක. මේ දවස්වල ඉතිං වැඩිපුර තියෙන්නේ අයිස් ගැහිල්ලක්ම තමයි.හුඟාක් වෙලාවට ලෙක්චර් එකක් නෑ කියලා දැනගත්තු ගමන් අපි යනවා table tennis ගහන්න හරි කැරම් ගහන්න හරි.ඒ පොට් එක තියෙන්නේ "වළ කැන්ටිම" උඩ.[ අපේ කැන්ටින් කීපයක් තියෙනවා.ඒවායෙන් එකක් තමයි "වළ කැන්ටිම".අනික්වා තමයි "ගොඩ කැන්ටිම","ගොඩ උඩ කැන්ටිම" සහ "එල් කැන්ටිම".තව එකක් තියෙනවලු , ඒක civil department එක පැත්තේ"ලු" තියෙන්නේ.ඒකේ නම නං තාම දන්නේ නෑ. ]එහෙමත් නැත්තං ජිම් එකට ගිහින් බැඩ්මින්ටන් ගහනවා.මොනවාවුණත් මේ දවස්වල කවදාකවත් නැතිතරං ඇඟ මහන්සිවෙන්න සෙල්ලං නං කලා.[ පුදුමේ කියන්නේ කැම්පස් ගිහින් සති දෙකෙන් මගේ ඉනත් අඟල් දෙකකින් විතර අඩුවෙලා!!! ]

ඒ අපේ free වෙලාවට කරන සෙල්ලං ගැනනේ කිව්වේ.ඊට අමතරව හවස්වරුවේ සිරාවටම කරන ක්‍රීඩා ගැනයි මේ කියන්න යන්නේ.

අපේ කැම්පස් එකේ සාමාන්‍යයෙන් කැම්පස් එකක තියෙන ක්‍රීඩා හැම එකක්ම වගේ තියෙනවා.සාමාන්‍යයෙන් කැම්පස් වල දුලබ,"ඔරු පැදීම"( rowing ) වගේ ක්‍රීඩාත් තියෙනවා.මාත් ඉතිං ඔන්න හා හා පුරා කියලා පටං ගත්තා කවුරුත් දන්න කියන සෙල්ලම "ක්‍රිකට්".9 වසරේ ඉඳන් 11 වෙනකං පොඩි club එකක ප්‍රැක්ටිස් ගියාට මම ඉස්කෝලේ සෙල්ලං කරල නෑ.ඒත් ඉතින් කැම්පස් එකේදි ආපහු ක්‍රිකට් ගහන්න ඕනි කියලා හිතුනා.වැඩේ කියන්නේ ඉතින් අවුරුදු ගානක් මහන්සි වෙන්න සෙල්ලං නොකරපු මේ ඇඟවල්වලට එක පාරටම තදබල ප්‍රැක්ටිස් පාර දරාගන්න බැරි එක තමයි :) පලවෙනි දවස් ටිකේම සෑහෙන්න අවුල්.ඒත් ඉතින් ටික දවසක් යද්දි හරියයිනේ :)

සංගම් ගැන කියද්දී GAVEL [ ඉංග්‍රීසි කථනය දියුණු කරන සංගමයක් ],AIESEC [ ජාත්‍යන්තරව ව්‍යාප්ත වූ,ලොව විශාලතම තරුණ නායකත්ව පුහුණු සංගමය ] සහ ROTARACT [ සමාජ සබඳතා,අන්තර් සබඳතා දියුණු කරනා ලොව විශාලතම සංගම් වලින් එකක් ]ගොඩක් ඉස්සරහින් ඉන්නවා.තව classical music එකත් සිරා!!!අපිත් ඉතින් ROTARACT පැත්තේ ගියා ;) තාම හරියටම සෙට් වුණේ නෑ.හිමීට හොයල බලලා එකකට සෙට් වෙනවා.

අපේ බෝඩිම ගැනත් කියල ඉන්න එපැයි!බෝඩිම තියෙන්නේ කැම්පස් එකේ ඉඳන් කිලෝමීටරයක් විතර දුරින්.පයින් යන්න විනාඩි 10ක් 15ක් විතර යනවා.ඒ වුණාට පොට් එක සිරා!හරිම නිදහස්.සමහරුන්ගේ බෝඩින්වලට සාපේක්ෂව දිව්‍ය ලෝකයක් වගේ.නිදාගන්න කාමරේ වෙනමයි,පාඩම් කරන්න වෙනම ලොකු කාමරේකුයි,කෑම බීම තියන්න පොඩි පැන්ට්‍රි එකකුයි , bathroom එකකුයි තියෙනවා.

මෙතනට සෙට් වෙලා ඉන්නේ අපේම ඉස්කෝලේ 4 දෙනෙක්.කශ්ටිය මෙහෙමයි ; සනුක , ගම්පහ පොරක් , කවීන් - මෑනුත් ගම්පහ , නුවන් හෙවත් අලයා - වැලිමඩ බුවෙක් සහ මම!

අපේම උඩ තට්ටුවේ ඉන්නවා අපේ ඉස්කෝලෙම 9 දෙනෙක්.ඒක තනිකර ගෙයක්ම වගේ තමයි.නිදාගන්න කාමර 3යි , පැන්ට්‍රි දෙකයි , පාඩම් කරන කාමර දෙකයි , bathroom දෙකයි.

ඉතින් ඔක්කොම එකතු කලාම අපේම ඉස්කෝලේ 13 ක් සෙට් වෙලා ඉන්නව එකම තැන!ඒ නිසා මේක දැන් Royal බෝඩිම බවට පත්වෙලා :))

 ම්ම්...දැනට මේ මදැයි.හිමීට ලියන්නම්කෝ තව විස්තර.එහෙනන් මම කැපුනා.

[ මම ගෙදර එන්නේ සති අන්තේ නිසා ජංජාලේ සැරිසරන්න වෙලාවක් නෑ.ඒ නිසා අනිත් අයගේ ලිපි කියවන්න විදියකුත් නෑ.ඒකට සමා අවසර.Laptop එකකුයි internet connection එකකුයි සෙට් කරගත්තාම බෝඩිමේ ඉඳන්ම සෙට් වෙන්න බැරියෑ!!හැබැයි ඒකට කල් යයි මොකද ඒකට මුදල් ප්‍රතිපාදන එපැයි!!!:((( ]

Saturday, July 10, 2010

කැම්පස් ජීවිතේ කෙමෙන් කෙමෙන් ජොලි බර වේ! [ කැම්පස් සටහන් 2 ]

ඔන්න ඉතින් මමත් ගිය සතියේ හෙවත් ජුනි 29 වෙනිදා හා හා පුරා කියලා ලංකාවේ කැම්පස් එකකට ගොඩ උනා නොවෑ!වැස්සකට නං නෙවෙයි ඕං!:) ඉගෙන ගන්ට කියලා!

පහුගිය පෝස්ට් එක ලියද්දී මම ටිකක් මෝල් වෙලා හිටියට මේ පාරනං කියන්න තියෙන්නේ කැම්පස් ජීවිතේ ලස්සන වේගෙන එනවා කියලයි.

අපිට තාමත් අධ්‍යයන කටයුතු පටන් අරගත්තේ නෑ.දැන් තියෙන්නේ pre-academic හෙවත් "පෙර අධ්‍යයන" සමයක්.[තේරෙන බාසාවෙන් කිව්වොත් අයිස් ගහන කාලයක් :) ]

ඔය කාලේදි ඉතින් අපිට තියෙන්නේ ඉංග්‍රීසියි , පුස්තකාලේ භාවිතා කරන විදිය ගැනයි , ගණිත ඉතිහාසය වගේ මූලික දේවල් කීපයක් විතරයි.ඒ වගේම මේ කාලේදි තමයි අපිට අපේ බැච් එකේ අළුත් යාලුවෝ එහෙම අඳුනගන්න , කතාබහ කරන්න තියෙන හොඳම කාලේ.මොකද මේ දවස්වල විතරයි අපේ බැච් එක , අනිත් පරන බැච් වලින් වෙන්කරලා අඳුනගන්න පුළුවන් වෙන්නේ.හේතුව අපි dress-code පිටින් යන්නේ මුල් මාස කීපය විතරක් නිසා. [ ඒ කිව්වේ පිරිමි ලමයි කළු සපත්තු දාලා,කොට්න් කලිසන් ඇඳලා , කමිස ඇඳලා , යටකරලා සහ ගෑණු ලමයි සාය හැට්ට ඇඳලා පිලිවෙලකට යෑම. ]

මේ මුල් මාස ටික ගතවුණාට පස්සේ අපිත් අනිත් බැච් වගේම ඩෙනිමක් ගහලා , ටී ශර්ට් එකක් ඇඳගෙන කැම්පස් යන්න පටන් ගනීවි.එතකොට අපේ බැච් එකේ අය කවුද කියලා හොයාගන්නවත් හම්බවෙන්නේ නෑ.

ඉතින් අපි මේ දවස්වල ගොඩාක් යාලුවෝ අඳුනගත්තා.රටේ හතර දික්භාගෙන්ම යාලුවෝ හම්බවුණා.තවමත් අඳුනාගනිමින් පවතිනවා.

දැන් දැන් අපිට කැම්පස් එකේ පරිසරයත් හුරුවෙලා.මුල් දවස්වල යන එන තැන් හොයාගන්න බැරුව හිටිය අපි දැන් කැම්පස් එකේ තැන් තැන්වල පිහිටීම ගැනත් ටික ටික හුරුවෙලා.ඒ වගේමයි කෑමත්!මුල් දවස්වල සමහරුන්ට කැම්පස් එකේ කෑම ඇල්ලුවේ නෑ![අපිටනං ඉතින් කොහේ කෑමත් අල්ලලා යනවනේ :)]දැන් වෙනකොට ඒ අවුලුත් සෑහෙන්න දුරට විසඳිලා.

ක්‍රීඩා කටයුතු වගේම සංගම්වල කටයුතුත් ලබන සතියේ පටන් ගන්නවා.එතකොට තව අලුත් දේවල් ගොඩාක් දැනගන්න , ඉගෙනගන්න හම්බවේවී.හැබැයි අධ්‍යයන කටයුතු පටන් ගත්තාමනං සෑහෙන්න වැඩ තියේවි.ඒකට ඉතින් තව සති 6ක්ම තියෙනවනේ :)) එතකං අපි ජොලියෙන් කල් ගෙවනවා.

ආහ්!තව පොඩ්ඩෙන් අමතක වෙනවා! ගෙදර ඉඳන් කැම්පස් යන්න අමාරු නිසා මම තව යාලුවෝ 3 දෙනෙක් එක්ක බෝඩ් වුණා.බෝඩිම ගැනයි , අපේ බෝඩිමේ කශ්ටිය ගැනයි ඊලඟ ලිපියෙන් ලියන්නම්කෝ!

Saturday, July 3, 2010

අපිත් දැන් කැම්පස් කොල්ලෝ [ කැම්පස් සටහන් 1 ]



අපිත් ඔන්න කටුබැද්ද ඉංජිනේරු පීඨයට තෙරුනාලු!( නිකන්ම තේරුණා කිව්වට ඇතුලට යන්න මහන්සිවුණු විදිය මෙතනින් කියවලා බලන්න :D )

ජූනි 29 තමයි කැම්පස් පටන් ගත්තේ.මේ දවස් ටිකේ හිටියේ බෝඩිමේ නිසා ජංජාලේ පැත්තේ යන්න එන්නත් බැරිවුණා.මොකද අපිට තාම ජංගම ජංජාල පහසුකමක් තියා , ජංගම පරිගණකයක්වත් සෙට් උනේ නෑ!

මොනාවුණත් රැග් සීන් ලොකුවට නැති නිසා කැම්පස් එකේ මුල් දවස් ටික ලොකු අවුලකින් තොරව ඉන්න පුලුවන් වේවි කියලා මම හිතුවා.

ඒත් කොලඹ ඉස්කෝලවල අපේම යාලුවන්ට ( මමත් ඇතුලුව ) පිටපලාත්වල seniors ලා සලකන හැටි දැක්කම ඇත්තටම පොඩි දුකක් ඇතිවුණා.[ඒවා ගැන ලියන්න වෙනම දවසක් ගන්න ඕනි!]

රටම ගොඩනඟන්න පුළුවන් දැනුමකුත් තියාගෙන , සීමා මායිම් පනවගෙන එක එකා ඇණකොටා ගන්නකොට ලංකාව කොහොම දියුණු වෙන්නද!අනේ හෆොයි!

 අනික සිංහල මිනිස්සු හැමතැනදිම මෝඩයෝ වෙලා ඇණ කොටා ගන්නකොට , දෙමල මිනිස්සු එකතුවෙලා ජාතියක් විදියට නැගිටින්න හදන හැටි හොඳටම පැහැදිලි වෙනවා කැම්පස් එක ඇතුලෙදි.

 අවුරුදු ගානක් පෙරුම් පුරලා , හීන මවලා පටන් ගත්තු කැම්පස් ජීවිතේ හිතපු තරම්ම සුන්දර නැහැ කියලයි දැන්නං හිතෙන්නේ.
[ ඉස්සරහට මේ අදහස් වෙනස්වුණොත් ඒකට හේතුත් එක්කම තවත් ලිපියක් ලියන්නංකෝ! :) ]