Showing posts with label අසාධාරණය. Show all posts
Showing posts with label අසාධාරණය. Show all posts

Thursday, June 14, 2012

පටන් ගන්නේ නැද්ද ඕයි!!!



විභාග ගොඩදාගෙන ,
රෑ දවල් පොත් බදාගෙන,
නින්දක්,කෑමක් හරියට නැතුව,
විශ්ව විද්‍යාලෙට ගාටපු,
අතේ සතේ නැති,
අහිංසකයෝ ටික,
ඇස්.බී. ගේ පුරාජේරු අහ අහා,
academic , non-academic,
strike එක්ක පොරකකා,
තාමත් හොස්ටල් කැන්ටින් එකෙන්,
රුපියල් 5 ට අඩු කකා,
කර කියාගන්න දෙයක් නැතුව,
බලං ඉන්නවා,
කැම්පස් ආපහු පටන් ගන්නකල්,
උන්ගේ ජීවිත ජයගන්න,
ඩිග්‍රිය ඉවරකරලා,
ජොබ් කට්ටක් හොයාගන්න.... 


ප.ලි. : 


Saturday, January 7, 2012

දෙකේ ලකුණු පළමුව වෙනමම හෙවුවා............... අරගෙන දෙකම ඉන්පසු කෙරුවෙමු "මෙව්වා".......

මේ පාර උසස්පෙළ විභාගේ ප්‍රතිඵල ගැන ගොඩ දෙනෙක් එක එක ආකාරයේ විචාර ලබාදුන්නා.සමහර විචාර ප්‍රසිද්ධියේ පල කරන්න බැරි තරං තරහ උතුරන ආකාරයේ ප්‍රකාශන වුනා.දැනට මම ජංජාලේ දැකපු ලස්සනම විචාරය මෙන්න මේ දැන් මම උපුටගත්තා මොරටුව ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමයේ නිල බ්ලොග් අඩවියෙන්.


==============================================


දෙකේ ලකුණු පළමුව වෙනමම හෙවුවා............... අරගෙන දෙකම ඉන්පසු කෙරුවෙමු "මෙව්වා"........








සදෙව් ලොවට අධ්පති සක් දෙවිදු                    මෙමා
මගෙ පොඩි පුතා ලිවුවෙත් මේ පාර                   තමා
දැනගනු පිණිස පුතු ප්‍රතිඵල නොවී                     පමා
ඉක්මන් කරන ලෙස දැනුවත් කළෙමි            "කොමා"

ප්‍රතිඵල නිකුත් වී මොහොතක් ගෙවෙන               විට
මට වැටහුණා හොඳ හැටි ඉක්මනෙහි               කොට
සදෙව් ලොවම කැළඹී ප්‍රතිඵලය                         පිට
එන්නට හදනවා ඇතුළට කඩන්                        වැට

දේවිය යවා පුතු ප්‍රතිඵල බලන                        රිසින්
කැදවූයෙමි කොමා වූ තතු අසන                   ලෙසින්
පහලට නැමුණු මුහුණින් බිම හැරුණු              ඇසින්
පහදන්නට කරුණු ඇරඹිණි කොමා                 විසින්

සිලබස් දෙකක කට්ටිය එකටම                      ලිවුවා
වරදක් නැතිව අපි එක ලකුණක්                    මැවුවා
දෙකේ ලකුණු පළමුව වෙනමම                   හෙවුවා
අරගෙන දෙකම ඉන්පසු කෙරුවෙමු             මෙව්වා

ඔහුගේ කතාවේ අග මුල නැති                       හන්දා
ඉගෙනුම් බාර දෙවියා අසලට                       කැන්දා
විමසූවෙමි කරුණු හද තුළ සැක                     රන්දා
පුතුගේ ප්‍රතිඵලය මක් වේවිද                         මන්දා

ඔය රජතුමනි අපෙ ලොව දෙවියගෙ               ගතිය
කෑ ගැහුවාට ඒ හැටි අවුලක්                        නැතිය
හැදුවේ සූත්‍රය නිදි මරමින්                          සතිය
ඒකට යොදා ගත්තේ අපි                        ජ්‍යාමිතිය

ඔහොම වැඩක්මයි තොපි නම් කළොත්         කලේ
කොහොමද මෙහෙම ගියොතින් මම ඉන්නෙ  බලේ
ඇදගෙන නාලා තොපි මේ බොර කෙරුව        ජලේ
යමරජු මාළු බානව ඇති ඉහන්                      වළේ

මාතලීට ඇත දැන් හොදටම                       කිපිලා
උගෙ පුතු හට නෑලු තව ප්‍රතිඵල                 ලැබිලා
බැලුවම කාරණා එහි පතුලට                      එබිලා
ඩ්‍රයිවින් පේපරේ කුණු කූඩෙක                 තිබිලා

තාමත් සිහිය නෑ මල් අම්මගෙ                        දූට
බය වුණු පාර අද මේ සිදු උන                       දේට
සදෙව් ලොවෙන් දහවෙනියා වුණු                  ඈට
තුසිතෙන් සීය ලැබුණාම පවසම්                    කාට

පංචසිකට හැදිලලු කැක්කුම                      ඔලුවේ
වීණාවෙන්ලු පුතාට තරහට                       තැලුවේ
සංගීතයෙන් උගෙ පුතු කොහොමද            හැලුවේ
ඌගෙම පියා නම් එහි පේපර්ස්                  බැලුවේ

වගකීමක් නැතිව මුන් පුටු වල                      ලෑවා
මුන් ටික මගේ නම රහ කර කර                   කෑවා
මින් මතු කිසි දිනක නොම වන්නට               ඕවා
දැන්වත් ඉගෙන ගත යුතු පාඩම්                   මේවා

යන විට සබාවේ ඔය විදිහට                       ගෝරි
කෑ ගහගෙන දිව ආවා නොවැ                       බාරි
පොඩි පුතු ලිවුවේ තනතුරකට                  බලධාරි
අන්තපුරේටලු ඌ ඇත්තේ                          තේරි


-- ලිව්වේ සදෙව් ලොවට අධ්පති (චමිඳු මිහිරංග)

==============================================

-- උපුටාගන්නා ලද්දේ මොරටුව ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමයේ නිල  බ්ලොග් අඩවියෙන්.

==============================================

සුපුරුදු පරිදි මේ නිර්මාණය කරලා තියෙන්නේ අපේ සහෝදර ශිෂ්‍ය චමිඳු මිහිරංග විසින්.මීට කලින් ඔහු විසින් පෞද්ගලික විශ්ව විද්‍යාල ගැන පල කරපු ලිපිය කියවන්න මෙන්න මෙතනින්..

==============================================

Monday, June 7, 2010

ලංකාවේ උසස් අධ්‍යාපනය හා සිසුන්ගේ කෙස් ගස් සුදුවීම (නිදහස් අධ්‍යාපනයේ අක්‍රමවත් බව නිසා වයසට යන අපි)

නිමිත්ත ::   "නව විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබන ඔක්තෝම්බර් 1 වනදා!" - එස් බී ට පිස්සුද , නැත්තං අපිට පිස්සුද?




   මේ වසර සඳහා විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබන ඔක්තෝම්බර් මස 1 වන දින සිදුකරන බවට අපේ එස්.බී.ලොක්කා ප්‍රකාශයක් කොලා නොවෑ!!වැරදුනාද දන්නේ නෑ,ඒ වුණත් කියපු විදියට ඔක්තෝම්බර් වෙනකං තව මාස 4ක් අපිට බලං ඉන්න වෙයිදෝ කියලා මටනං හිතෙනවා.මොකද ලංකාවේ අධ්‍යාපන ක්‍රමය සෑහෙන දියුනු නිසා ඒ වගේ දෙයක් වුණොත් පුදුම වෙන්න දේකුත් නැහැ.

    මේ වෙලාවේ මට හිතුණා "ලංකාවේ උසස් අධ්‍යාපනය තුල විනාශ වෙන අපේ අනාගතය" ගැන පොඩ්ඩක් ලියන්න ඕනි කියලා.

    අපේ රටේ විභාග පස්සේ දුවන තරඟේ පටං ගන්නේ 3 වසරේ ඉඳන්.ඒ 5 වසර ශිෂ්‍යත්වේ ඉහලින්ම පාස් කරවන්න 3 වසරේ ලමයින්ව පංති ගානෙ අරං දුවලා.ඔහොම දුක් විඳින අපේ රටේ ලමයි සාමාන්‍ය පෙලටත් පංති 10 කට විතර දුවල හොඳටම හෙම්බත් වෙලයි උසස් පෙල කරන්න එන්නේ.

    හැබැයි ඒ හැම හෙම්බත් වීමක්ම අපේ යහපත උදෙසා කියලා හිත හදාගන්න පුළුවන් දේවල්.ඒත් කතාව පටං ගන්නේ සාමාන්‍යපෙළ කරපු එකාට උසස්පෙළ කරන්න කලිං බලං ඉන්න වෙන මාස 6 / 7 ත් එක්ක.සාමන්‍යපෙළ විභාගේ ඉවර වෙන්නේ දෙසැම්බර් මාසේ.ඊට පස්සේ ඒ ලමයි බලං ඉන්නවා කරපු විභාගේ ප්‍රතිඵල එනකං මාස 5ක් විතර.බොහෝවිට අප්‍රේල් මාසේ මැද වෙද්දි තමයි ඔය බලං ඉන්න ප්‍රතිඵලේ එන්නේ.

             දැං පටං ගන්න කැල්ක්‍යුලේටරේ ඔන් කරගන්න.ඔන්න දෙසැම්බර් ඉඳලා අප්‍රේල් මැදවෙනකොට මාස 4 1/2 ක් නිකංම ගත වෙලා ඔන්න.
            ඊලඟට උසස්පෙළට පාසල් පටං ගන්නේ ජූලි මුල ( කොලඹ පාසල් කිහිපයක් විතරක් ඊට මසක් පමණ පෙර පටං ගන්නවා )
            එතකොට තවත් මාස 2 1/2 ක් ගිහිං.ඔක්කොම එකතුව මාස 7යි.

  ඊලඟට ඔන්න උසස්පෙළ.මහා තරඟ විභාගය.ජීවිතේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය තීරණය කරන කඩඉම.ලමයි කඩිමුඩියේ , විෂයන් එකකට පංති 4 ගානේ විතර පංතිත් හොයාගෙන ජීවිතෙ ජයගන්න අව් , වැසි නොබලා අධ්‍යාපනේ!!!කෑමක් , බීමක් නැතුව සමහරු හරියට නින්දක්වත් නැතුව අවුරුදු 2ක් නැහිලා,නැහිලා ඔන්න විභාගේ කරනවා අවුරුදු දෙකකට පස්සේ එන අගෝස්තුවේදි.විභාගේ ඉවර වෙන්නේ අගෝස්තුව අන්තිමේ.

     ඔන්න නැවතත් බලං සිටීමේ කාලය!!!අගෝස්තුවේ විභාගේ කොරන උන්ගේ ප්‍රතිඵල එන්නේ දෙසැම්බර් සහ ජනවාරි කාලය ඇතුලත.අපි ජනවාරි මුල කියලා හිතමුකෝ.ඔන්න එතකොට අගෝස්තුවේ ඉඳන් මාස 4යි.

   ජනවාරියේදි ප්‍රතිඵල ආවට වැඩක් නෑ ඕං!!! නැවත සමීක්ෂණ ඉවර වෙනකං කඩඉම් ලකුණු දෙන්න බෑ නොවෑ!!! ඉතිං ඔන්න අපි අයෙමත් බලං ඉන්නවා.ඇටිකෙහෙල් කාපු රිලව් වගේ අපි බලං ඉන්නවා පේපර්ස් බලපු මිනිස්සුංගේ අතිං වෙච්ච වැරදි හරිගස්සනකං!!!!ඔන්න ඔය නැවත සමීක්ෂණ ප්‍රතිඵල එන්නේ ජූනි මාසේ හෝ ජූලි මාසේ.අපි ජූලි මාසේ කියලා ගත්තොත්,ජනවාරි ඉඳන් මාස 7යි.

   එතකොට මාස 11ක්ම අපි උසස්පෙළ කරල උඩ බලං ඉඳලා!



   හෝව් හෝව්!!!තව ඉවර නෑ !!! :) ප්‍රතිඵල ආවට,කඩඉම් ලකුණු ආවට , කැම්පස් පටං ගන්නේ තව මාසයක් හෝ දෙකක් ගිහිල්ලා.එතකොට මාස 13ක් නිකරුනේ ගතකරලා අපේ උසස්පෙළ කරපු හපන්නු ටික.

   ඔක්කොම එකතු කරල බලන්න දැං.සාමාන්‍යපෙළ ඉවර වෙලා බලං හිටපු මාස 7යි , උසස්පෙළ කරල බලං උන්නු මාස 13යි.එකතුකළාම , මාස 20යි!!!අවුරුදු දෙකකට මාස 4යි අඩු!!! :))

   මේ පාර එස්.බී. කිව්ව විදියට කැම්පස් පටං ගන්නේ ඔක්තෝම්බර් වලනං,ඔන්න අර මාස 4ත් සම්පූර්ණයි!!!එතකොට උසස්පෙළ හමාරකරලා , ජීවිතේ ජයගත්තු , ලාංකික නිදහස් අධ්‍යාපනේ පහස ලැබූ දක්ෂ ශිෂ්‍යයා , තමංගේ ජීවිතේ වටිනාම කාලයෙන් අවුරුදු 2ක් නාස්ති කරගෙන ඉවරයි , රජයේ සහ ලාංකික අධ්‍යාපන ක්‍රමයේ සාර්ථකත්වයට පිං සිදු වෙන්න.

    මීට සමාන්තරව ජත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන ලමයින්ගේ ජීවිත ගැන හොයලා බලමුද?

   ජාත්‍යන්තර පාසලක සාමාන්‍යපෙළ කරන්නේ අපි සාමන්‍යපෙළ කරන අවුරුද්දේම අගෝස්තුවේ.ඒ කියන්නේ අපිට මාස 3කට කලින්.ඒක ඉවර වෙලා මාසයක් ඇතුළත උසස්පෙළත් පටං ගන්නවා.එයාලගේ පේපර්ස් ඔක්කොම බලන්නේ එංගලන්තෙට යවලයි.එහෙම යවලත් ඒ පේපර්ස් මාසයක් ඇතුළත ප්‍රතිඵල සහිතව ලංකාවට එනවා.

     ඊලඟට එයාලා උසස්පෙළ කරන්නෙත් අපිට කලින් අවුරුද්දේ අගෝස්තුවල.එතනත් අවුරුද්දක වෙනසක්.එහෙම කරපු එයාලගේ ප්‍රතිඵල එනව මාසයක් ඇතුලත.ඊලඟ ජනවාරි වෙනකොට ඒ ලමයි තමංගේ ජීවිතේ ජයගන්න ඕනි කරන උසස් අධ්‍යාපනේට විදේශගතවෙනවා , එහෙමත් නැත්තං දැනට මෙරට පටං අරං තියෙන පුද්ගලික විශ්ව විද්‍යාලෙකට ඇතුලත් වෙනවා.

    ඔන්න ඔහොම කරුණු කාරනා සිද්ධවුණාම අපේ රටේ නිදහස් අධ්‍යාපනය ලැබූ ,උසස්පෙළ ඉහලින් සමත්වූ ලමයින්ගේ ජීවිතවලට අහිමිවෙච්ච අවුරුදු දෙක , පෞද්ගලික අධ්‍යාපනය ලැබූ ලමයි අර්ථවත්ව සහ ජීවිතේ ජයගන්න පාවිච්චි කරලා තියෙන බව අපිට පේනවා.

    ඒකට හේතුව වෙලා තියෙන්නේ බටහිර,පෞද්ගලික අධ්‍යාපනය තුල ඇති මනා කලමනාකාරීත්වය මිසක් වෙන කිසිම දෙයක් නෙවෙයි කියලත් හැමෝටම තේරෙනවා ඇති.

    ලංකාවේ මිනිස්සුන්ගේ ඇස් කවදා ඇරේවිද??මෙහෙම ගියොත් ශ්‍රී ලංකාව දියුණු වේවිද?

    මේ විදියට අධ්‍යාපන ක්‍රමවේදයේ ඇති දුර්වලතා නිසා අපේ ශිෂ්‍ය පරම්පරාවට සිදුවෙන විපත සහ අසාධාරණය කවදා නතරවේවිද???

    "ලංකාවේ උසස් අධ්‍යාපනය නිසා සිසුන්ගේ කෙස් ගස් සුදුවීම කවදා නතර වේවිද?"