Saturday, June 26, 2010

"මත්පැන් පානයෙන් , යෝග ව්‍යායාමවලින් ලැබෙන ප්‍රතිඵලම ලැබේ." නවතම පරීක්ෂණ වාර්තාව!

මත්පැන් ගැන මම වතාවකුත් ලිපියක් දැම්මා.ඒ වුණාට ඒකේ නොකියා කිව්වේ බොන්න එපා කියලනේ.මෙන්න මම අද කියනවා කශ්ටියටම "වැටෙන්න බොන්න" කියලා!

ඇයි දන්නවද?ඔන්න නවතම පරීක්ෂණයකින් ඔප්පු වෙලා , වැටෙන්න බිව්වම ඇඟට ලැබෙන ව්‍යායාම සහ යෝග ව්‍යායාම අතර ලොකු වෙනසක් නෑ කියලා.ඉතින් සෞඛ්‍යමත්ව ඉන්න ඕනිනං , ඔන්න අදම බොන්න පටංගන්න!

පරීක්ෂණය හරිම අවිධිමත් ලෙස සිදු කල එකක්.ඒත් ප්‍රතිඵල පුදුම සහගතයි!

මෙන්න ඒ පරීක්ෂණයේ සමහර අවස්ථාවලදී ලබාගත් ඡායාරූප කීපයක්.එම ඡායාරූපවල මුලින් දක්වලා තියෙන්නේ නියම යෝගාසනයේ ස්වරූපය.ඊලඟට දකුණු පැත්තේ තියෙන්නේ , මත්පැන් ජයටම පානය කරලා ඉන්න උදවිය.බලන්න ඒ ආසනවල ඒ උදවිය ඉන්න අපූරුව!

සවාසන - ඇඟ ලිහිල් කිරීමේ ආසනය



බලාසන - විඩාබර බව තුරන්කර මනස සැහැල්ලු කිරීමේ ආසනය



සෙටු බන්ධ සර්වාංගාසනය - වෙහෙසකර මොලය සන්සුන් කරන අතරම විඩාපත් පාද සැහැල්ලු කරයි




මර්ජ්‍යාසන - කොඳු ඇටපෙළ සහ යටිබඩ පෙදෙස ශක්තිමත් කරයි

හලාසන - කොන්දේ අමාරුව සහ නින්ද නොයාමේ රෝගවලින් ඔබව මුදවයි

ඩොල්ෆින් - උරහිස් පෙදෙස් , පපු පෙදෙස , කකුල් සහ අත්වල සුවතාවයට


සලඹාසන - බඩ , යටිබඩ සහ ප්‍රජනන අවයව ශක්තිමත් කරයි

ආනන්ද බලාසන - උකුල පෙදෙසට ව්‍යායාම ලබාදේ

මලාසන - කකුලේ වලලුකර සහ පිටුපස අස්ථි ශක්තිමත් කරයි

-----------------------------------------------


දැන් ඉතින් පේනවනේ බිව්වාම ලැබෙන ප්‍රයෝජන!

බලන්න ඒ උදවිය ලස්සනට යෝගාසනවල ඉන්න හැටි!

ඔයාලත් මීට පස්සේ බොනවනම් , වැටෙන්නම බොන්න!එතකොටයි සෞඛ්‍යට සනීප!

ප.ලි. : මේ සියලු ඡායාරූප ලැබුණේ විද්‍යුත් තැපැල් මාර්ගයෙන්, මගේ මිතුරකුගෙන්.ඔහුට විශේෂ ස්තුතිය!

Saturday, June 19, 2010

ජීවිතේ සතුටින් ඉන්න අතපය ඕනිද?

"අපිට බෑ" ,
"අපිට අර පහසුකම නෑ",
"මේ පහසුකම නෑ",
"ඒව නැතුව මේව කරන්න බෑ",
"මට ජීවිතේ එපා වෙලා",
"මට මුකුත් නෑ",
"මට මුකුත් බෑ"


මේ වගේ කතා අපේ ජීවිතේදි කොච්චරක්නං කියලා ඇද්ද?

අනිත් අය කියනවා ඇහිලා ඇද්ද?

1) "ජීවිතේ කියන්නේ මොකක්ද?"  2) "සතුට කියන්නේ මොකක්ද?"

     ඔන්න ඔය ප්‍රශ්න දෙකට හරිහැටි උත්තර හොයාගන්න බැරිවුණු අපි තමයි ඔය පෙරකීවා වගේ වදන්
දොඩවන්නේ.මේ ලිපිය ලියන මම වුණත් ඔය ගොඩේ තමයි.මොකද අපි හුඟදෙනෙක් තාමත් ජීවිතේ දිහා බලන්නේ , අපිට පුරුදු කරල තියෙන විදියට මිසක් ජීවිතේ දිහා බලන්න ඕනි විදියට නෙවෙයිනේ.

හැබැයි මට අද හම්බුණා මම ගොඩාක් කාලයක් හොය හොයා හිටපු වීඩියෝ කිහිපයක්.පහලින් තියෙන වීඩියෝ කිහිපය බලලා මොහොතක් හිතන්න අපි අපේ ජීවිතේ අපිට ලැබිලා තියෙන දේවල් ගැන මැසිවිලි නඟන එක සාධාරණද කියලා.

-----------------------------------------------------------------











 ----------------------------------------------------

මොකද හිතුණේ?පුදුමයිද?

දැන් මොකද හිතන්නේ ජීවිතේ ගැන?අපිට කළ නොහැකි දෙයක් තියේවිද?

 හිතන්න අපි කොච්චර පොඩි ප්‍රශ්න නිසාද ජීවිතේ ගැන දුක් වෙන්නේ කියලා.ඒ අතරම හිතන්න අපි කොච්චර වාසනාවන්ත මිනිස්සුද කියලා?

 අපි අද ඉඳන් ජීවත් වෙන්න ඉගෙනගමු.ජීවිතේ ගැන අසුභවාදී නොවී , ජීවිතේ සැබෑ සතුට සොයාගෙන යමු!ඒ වීඩියෝ පෙළේදි , ඒ අපූරු මිනිසා කියන ආකාරයට ,

"ඔබේ දෙවියන් ජීවත් වන්නේ ඔබ තුළමය!ඔබේ ජීවිතය ජයගැනීම ඔබට පමණක්ම කළහැක."


අපි ජීවිතේ සැබෑ සතුට අත්විඳිමු. ජීවිතේ, සතුටින් ජීවත් වෙමු!

------------------------------------------------------------------------------------------------------------

ප.ලි. : මෙම වීඩියෝව කිසිදු ආගමික අරමුණකින් තොරව ඔබේ ජීවිතයට යහපත් අරමුණක් සහ ස්වයං අභිප්‍රේරණයක් ඇතිකිරීම සඳහාම පමණක් යොදාගත්බව කරුණාවෙන් සලකන්න.

Saturday, June 12, 2010

බස් කොන්දොස්තර සහ අසරණ මගියා

  මොකද හිතෙන්නේ මාතෘකාව දැකපු ගමන්??යකා නැග්ගද??මළ පැන්නද??තද උනාද?? ( කෙටියෙන් ඇහුවොත් , කේන්ති ගියාද?? )

  ඕකට හේතුව මොකක්ද?

 පැහැදිලිවම අපි හැමෝටම වගේ මේ බස් කොන්දොස්තරල ගැන තියෙන අත්දැකීම් එච්චරම සුන්දර නැති නිසා.එහෙම නේද?

  අපි බොහෝ දෙනෙක් අත්දකින සහ අත්දැකපු දෙයක් තමයි ඉතුරු සල්ලි ප්‍රශ්නේ.ඊලඟට කොන්දොස්තරගේ යටි ගිරියෙන් කෙරෙන කෑගැහිල්ල.තව , බස් එකේ සෙනග පිරිච්ච වෙලාවට මිනිහා එහාට මෙහාට යනකොට හිටං ඉන්න උදවියගෙ කකුල් වලට නොමිලේම මසාජ් ලැබීම.ඇයි සල්ලි ගනිද්දි අනිත් පැත්තේ වාඩිවෙලා ඉන්න මිනිහාගේ උරහිස්සට නොමිලේම මසාජ් එකක් දීම.

  ඔන්න ඔය වගේ එකී මෙකී නොකී සෑහෙන කරුණු කාරනා නිසා , බස් එකේ යන හුඟක් අය මේ කොන්දොස්තර කියන හාදයත් එක්ක අමු ඔරොප්පුව.

   හැබැයි අපි හැමවෙලේම සාධාරණද?පොඩ්ඩක් හිතලා බලමු.

   ඉතුරු සල්ලි ප්‍රශ්නෙ ඇතිවෙන්නේ අපි ලොකු ලොකු සල්ලි කොල අතට අරං බස් එකකට නැග්ගාමයි.සාමාන්‍යයෙන් මේ ඉතුරු සල්ලි ප්‍රශ්නේ ඇතිවෙන්නෙ කෙටි දුර බස් සේවාවලයි.දුර දුවන බස්වල ඔය ප්‍රශ්නේ නැත්තේ ඒවායේ ගනං මිනුං බොහෝවිට සල්ලි කොල වලින් පමණක් ගෙවිය හැකි වීම හන්දයි.

දැන් අපි ප්‍රශ්නේ අඳුනාගත්තා , ඉතින් දැන් ප්‍රශ්නෙට විසඳුම මොකක්ද?

     ලේසිම , පහසුම විසඳුම තමයි, අපි අපේ ගමන් බිමන් වලට ඕනි කරන මුදල් අවශ්‍ය මාරු සල්ලි එක්කම ලඟ තියාගැනීම.ඕකට , ගමන යන්න කලින් පොඩ්ඩක් පොකට් එක ඇදලා බලලා, ගෙදර අයගෙන් උදව්වකුත් අරගෙන සල්ලි මාරු කරගත්තම වැඩේ ඉවරයිනේ :))
       නැත්තං ගමන යන්න කලින් සිල්ලර කඩේකට ගියාම නිකංම මාරු කරල දෙනවනේ.

       ඉතින් තවත් ඉතුරු සල්ලි ඉල්ල ඉල්ලා නහයෙන් අඬන්න වෙන්නේ නෑනේ.ප්‍රශ්නෙත් ඉවරයි , හිතටත් සතුටුයි.අනික අපිට අනිත් මිනිස්සුන්ගෙ වැරදි හදනවට වඩා , අපෙන් වෙන්න ඕනි යුතුකම ඉටු කරන එක ලේසියිනේ.

      හැබැයි නොකියාම බැහැ,සමහර වෙලාවට බස් කොන්දොස්තර අයියලා අපේ සල්ලිවලට අමු අමුවේ විදිනවා.රුපියල් 100 ක් විතර දුන්නාම ඉතුරු පසුවට කියල කියලා , අපි බහින්න කිට්ටු වුණාම මිනිහා හැංගිමුත්තන් කරනවා.ඔන්න ඔයවෙලාවට තමංගේ කට තියෙන්නේ පාවිච්චි කරන්න.කෙලින්ම අඬගහල ඉතුරු ඉල්ලුවාම වැඩේ ඉවරයි.ඒත් සමහරු ( විශේෂයෙන් ගෑණු උදවිය ) හරිම බයයි කතාකරල ඉතුරු ඉල්ලගන්න.ඉතිං ඒ වගේ අයගෙන් මේ කොන්දොස්තර අයියලා උපරිම ප්‍රයෝජන ගන්නවා.

      ඊලඟට එන්නේ අපිට විසඳීමට අපහසු ප්‍රශ්න.ඒ කියන්නේ කොන්දොස්තරගේ කෑ ගැහිල්ල , නොමිලේ ලැබෙන මසාජ් වගේ දේවල්.ඒවායෙනුත් නොමිලේ මසාජ් ලැබෙන එකනං මිනිහට තට්ටුවක් දාලා කියලා අඩු කරගන්න පුළුවන්.ඒත් අර කන දෙදරණ සද්දේ!!!ඕකනං ඉතින් නවත්තන්න වෙන්නෙ සක්කරයට තමයි :)

    කොන්දොස්තරගේ පැත්තෙං හිතුවාම මිනිහත් සාධාරණයි.මොකද ඒ මිනිස්සුන්ට දවසේ පඩිය හම්බවෙන්නේ එදා දවසේ ආදයමට අනුවයි.ඉතිං ඒ මිනිස්සු හදන්නේ තමංගේ අතට කීයක් හරි වැඩියෙන් ගන්න පුළුවන් තරං මිනිස්සුන්ව බස් එකට පටවගන්න එක.



   අනික , බස් එකට නැග්ග හැම මිනිහෙක්ගෙන්ම ඉක්මන්ට සල්ලි ගන්න ඕනි,ඉතුරු දෙන්න ඕනි.බස් එකේ සෙනග පිරිලනං, ධාවනය වෙන බස් එකක් ඇතුලේ මේ වගේ දේවල් කරද්දි වටේ පිටේ ඉන්න මගීන්ට ටිකක් අපහසු වෙන එක ඇත්ත.ඒත් කොන්දොස්තරට තමංගේ රාජකාරිය නවත්තන්න බැහැ නොවෑ!!

   පාපුවරුවේ යන්න වෙනවා , ඉස්සරහා දොරයි පස්සේ දොරයි අතරේ දුවන්න වෙනවා ටිකට් කඩන්න.ඔය වෙලාවට වැස්සක් තිබ්බොත් හොඳටම තෙමෙන්න වෙනවා.ඔය වගේ අපි නොදකින , අපිට නොපෙනෙන විදියට කොන්දොස්තරලා දුක් විඳිනවා නේද කියල ටිකක් හිතලා බැලුවොත් පෙනේවි.ඔහොම ඉස්සරහා දොරයි පිටිපස්සේ දොරයි අතරේ වාහන තදබදයක් වෙලාවක දුවන්න ගිහිං අනතුරුවලට ලක්වෙලා , තමන්ගේ අතපය අහිමිවුණ කොන්දොස්තරවරුත් ඉන්නවා.


    අනිත් කාරණේ අපේ සමහර මිනිස්සු පුරුදුවෙලා ඉන්නේ බස් එකට නැග්ගාම නැග්ග තැනම ගල් වෙන්න.(හිටගෙන යන උදවිය) තව මිනිස්සු ඉන්නව නේද,ඉස්සරහට ගිහින් ඉඩ දෙන්න ඕනි නේද කියලා තමංම හිතලා වැඩ කරන උදවිය ඉන්නේ බොහෝම සීමිත පිරිසක්.ඉතිං ඒ වගේ උදවියට කොන්දොස්තර අයියලාගේ කන්දොස්කිරියාව හින්දාම තමයි මතක් වෙන්නේ තව ඉඩ තියෙනවා , තව මිනිස්සු බස් එකේ යන්න ඕනි කියලා.ඉතිං ඒ වගේ මිනිස්සු නිසා නිකං ඉන්න අසරණ අපිටත් කනේ ඇඟිලි ගහගන්නයි වෙලා තියෙන්නේ.

   හැබැයි ඉතිං ඔය තත්වේ හැමතැනටම අදාල නැහැ.සමහර කොන්දොස්තරවරු කෑ ගහන්නේ පුරුද්දට.බස් එක පිරිලා ඉතිරිලා ගියත් , ඇඟිල්ලක් ඔබන්නවත් ඉඩ නැතිවුණත් කෑ ගහන එක නවත්තන්නේ නැති කොන්දොස්තරවරූත් ඉන්නවා.


   මට මතකයි දවසක් අපි ඉස්කෝලේ යන දවස්වල 138 කොට්ටාව බස් එකක කොන්දොස්තරෙක් මෙහෙම කියනවා.

   බස් එකට නගිනකොට ; "නගින්න නගින්න ඉක්මන්ට නගින්න මහත්තුරු ටික ඉක්මන් කරන්න"

   ඊලඟට බස් එකට නැගලා මොහොතක් යන්නත් කලිං ; "කෝ මහත්තුරු ටික ඉක්මන්ට සල්ලි දෙන්න සල්ලි දෙන්න"

    සල්ලි දීලා ඉවර වුණ ගමං කියාපි "ආ දැන් ඉස්සරාට ගිහිල්ලා ඉස්සරා දොරෙන් බැහැගන්න" !!

     වැඩේ කියන්නේ අපි බස් එකට නැග්ගේ කුරුඳුවත්ත පොලිසිය ගාවිං.ටිකට් ගත්තේ මහරගමට.මිනිහා සල්ලි අරං ඉවර වුණා තුම්මුල්ලට එද්දී,එතෙන්දි අපිට කියනවා ඉස්සරාට ගිහිං දැං බැහැගන්න කියලා.කට්ටියක්ම හිටපු නිසා අපිත් එක්ක හිටපු එකෙක් ඇහුවා මිනිහාගෙන් "අයියේ,දැං සල්ලි ගත්තු ගමං බහින්න කියන්නේ මේ මහරගමද?" කියලා.අපිටත් හිනා , බස් එකේ හිටපු මිනිස්සුන්ටත් හිනා!!

     ඔන්න ඕකයි තත්වේ!!!සල්ලි ගන්නකං කොන්දොස්තරලට අපිව පේන්නේ දෙවිවරු වගේ.ඒ දෙවිවරුම සල්ලි දීලා ඉවර වුණාම , බලු ගානට වැටෙනවා!!

     හැබැයි ඔය ප්‍රශ්න මුකුත්ම නැති බස් වර්ගෙකුත් තියෙනවා ලංකාවේ.වෙන මොනවත් නෙවෙයි , CTB හෙවත් ලංගම බස්!!!ඒවායේ කොන්දොස්තරලා පුදුම තැන්පත්.බොහෝම කලාතුරකින් තමයි කෑ ගහන්නේ.ඉතුරු සල්ලි වැඩියෙනුත් දෙනවා.ඉඳලා හිටලා ටිකටුත් දෙනවා.වෙලාවකට සල්ලි ඕනිම නෑ වගේ ටිකට් නොකඩාමත් ඉන්නවා.


   අනික ඒ වගේ බස් වල සෙනගත් සූ ගාල 5ක් 10 ක් වගේ තමයි ඉන්නේ.ඒකට හේතුව බස් එක සීග්‍රගාමී වීම නෙවෙයි , සීමිත නැවතුම් වීම!!නවත්තන්නේ බොහෝම කලාතුරකින්.ඉක්මනට ගමනක් යනවනං , CTB බස් තමයි ඉතිං!! :))) අනික ඔය වගේ සුපිරි සේවයක් දෙන නිසා තමයි ලංගමය (CTB) උපරිම පාඩු ලබන ආයතනවලින් එකක් වෙලා තියෙන්නේ.(ඒක ගැන වෙනම ලිපියක් ලියන්න වෙයි වගේ :)) )

    CTB බස්වල කොන්දොස්තරවරු දිහා බැලුවාම අපිට හිතෙන්නේ "අනේ හැම කොන්දොස්තර කෙනෙක්ම මේ වගේ වුණානං!!!" කියලා.
     හැබැයි ඔය හොඳකමට එකම හේතුව , ප්‍රයිවට් බස්වල කොන්දොස්තරවරු වගේ දිනපතා පඩි නොලැබ , මාසික පඩි ලැබීම බව දන්නේ බොහෝම ටික දෙනයි!!!

------------------------------------------------------------------------------------------------------------

   ඉතිං මොකද හිතෙන්නේ?අපි 100% ක්ම සාධාරණද?

Monday, June 7, 2010

ලංකාවේ උසස් අධ්‍යාපනය හා සිසුන්ගේ කෙස් ගස් සුදුවීම (නිදහස් අධ්‍යාපනයේ අක්‍රමවත් බව නිසා වයසට යන අපි)

නිමිත්ත ::   "නව විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබන ඔක්තෝම්බර් 1 වනදා!" - එස් බී ට පිස්සුද , නැත්තං අපිට පිස්සුද?




   මේ වසර සඳහා විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබන ඔක්තෝම්බර් මස 1 වන දින සිදුකරන බවට අපේ එස්.බී.ලොක්කා ප්‍රකාශයක් කොලා නොවෑ!!වැරදුනාද දන්නේ නෑ,ඒ වුණත් කියපු විදියට ඔක්තෝම්බර් වෙනකං තව මාස 4ක් අපිට බලං ඉන්න වෙයිදෝ කියලා මටනං හිතෙනවා.මොකද ලංකාවේ අධ්‍යාපන ක්‍රමය සෑහෙන දියුනු නිසා ඒ වගේ දෙයක් වුණොත් පුදුම වෙන්න දේකුත් නැහැ.

    මේ වෙලාවේ මට හිතුණා "ලංකාවේ උසස් අධ්‍යාපනය තුල විනාශ වෙන අපේ අනාගතය" ගැන පොඩ්ඩක් ලියන්න ඕනි කියලා.

    අපේ රටේ විභාග පස්සේ දුවන තරඟේ පටං ගන්නේ 3 වසරේ ඉඳන්.ඒ 5 වසර ශිෂ්‍යත්වේ ඉහලින්ම පාස් කරවන්න 3 වසරේ ලමයින්ව පංති ගානෙ අරං දුවලා.ඔහොම දුක් විඳින අපේ රටේ ලමයි සාමාන්‍ය පෙලටත් පංති 10 කට විතර දුවල හොඳටම හෙම්බත් වෙලයි උසස් පෙල කරන්න එන්නේ.

    හැබැයි ඒ හැම හෙම්බත් වීමක්ම අපේ යහපත උදෙසා කියලා හිත හදාගන්න පුළුවන් දේවල්.ඒත් කතාව පටං ගන්නේ සාමාන්‍යපෙළ කරපු එකාට උසස්පෙළ කරන්න කලිං බලං ඉන්න වෙන මාස 6 / 7 ත් එක්ක.සාමන්‍යපෙළ විභාගේ ඉවර වෙන්නේ දෙසැම්බර් මාසේ.ඊට පස්සේ ඒ ලමයි බලං ඉන්නවා කරපු විභාගේ ප්‍රතිඵල එනකං මාස 5ක් විතර.බොහෝවිට අප්‍රේල් මාසේ මැද වෙද්දි තමයි ඔය බලං ඉන්න ප්‍රතිඵලේ එන්නේ.

             දැං පටං ගන්න කැල්ක්‍යුලේටරේ ඔන් කරගන්න.ඔන්න දෙසැම්බර් ඉඳලා අප්‍රේල් මැදවෙනකොට මාස 4 1/2 ක් නිකංම ගත වෙලා ඔන්න.
            ඊලඟට උසස්පෙළට පාසල් පටං ගන්නේ ජූලි මුල ( කොලඹ පාසල් කිහිපයක් විතරක් ඊට මසක් පමණ පෙර පටං ගන්නවා )
            එතකොට තවත් මාස 2 1/2 ක් ගිහිං.ඔක්කොම එකතුව මාස 7යි.

  ඊලඟට ඔන්න උසස්පෙළ.මහා තරඟ විභාගය.ජීවිතේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය තීරණය කරන කඩඉම.ලමයි කඩිමුඩියේ , විෂයන් එකකට පංති 4 ගානේ විතර පංතිත් හොයාගෙන ජීවිතෙ ජයගන්න අව් , වැසි නොබලා අධ්‍යාපනේ!!!කෑමක් , බීමක් නැතුව සමහරු හරියට නින්දක්වත් නැතුව අවුරුදු 2ක් නැහිලා,නැහිලා ඔන්න විභාගේ කරනවා අවුරුදු දෙකකට පස්සේ එන අගෝස්තුවේදි.විභාගේ ඉවර වෙන්නේ අගෝස්තුව අන්තිමේ.

     ඔන්න නැවතත් බලං සිටීමේ කාලය!!!අගෝස්තුවේ විභාගේ කොරන උන්ගේ ප්‍රතිඵල එන්නේ දෙසැම්බර් සහ ජනවාරි කාලය ඇතුලත.අපි ජනවාරි මුල කියලා හිතමුකෝ.ඔන්න එතකොට අගෝස්තුවේ ඉඳන් මාස 4යි.

   ජනවාරියේදි ප්‍රතිඵල ආවට වැඩක් නෑ ඕං!!! නැවත සමීක්ෂණ ඉවර වෙනකං කඩඉම් ලකුණු දෙන්න බෑ නොවෑ!!! ඉතිං ඔන්න අපි අයෙමත් බලං ඉන්නවා.ඇටිකෙහෙල් කාපු රිලව් වගේ අපි බලං ඉන්නවා පේපර්ස් බලපු මිනිස්සුංගේ අතිං වෙච්ච වැරදි හරිගස්සනකං!!!!ඔන්න ඔය නැවත සමීක්ෂණ ප්‍රතිඵල එන්නේ ජූනි මාසේ හෝ ජූලි මාසේ.අපි ජූලි මාසේ කියලා ගත්තොත්,ජනවාරි ඉඳන් මාස 7යි.

   එතකොට මාස 11ක්ම අපි උසස්පෙළ කරල උඩ බලං ඉඳලා!



   හෝව් හෝව්!!!තව ඉවර නෑ !!! :) ප්‍රතිඵල ආවට,කඩඉම් ලකුණු ආවට , කැම්පස් පටං ගන්නේ තව මාසයක් හෝ දෙකක් ගිහිල්ලා.එතකොට මාස 13ක් නිකරුනේ ගතකරලා අපේ උසස්පෙළ කරපු හපන්නු ටික.

   ඔක්කොම එකතු කරල බලන්න දැං.සාමාන්‍යපෙළ ඉවර වෙලා බලං හිටපු මාස 7යි , උසස්පෙළ කරල බලං උන්නු මාස 13යි.එකතුකළාම , මාස 20යි!!!අවුරුදු දෙකකට මාස 4යි අඩු!!! :))

   මේ පාර එස්.බී. කිව්ව විදියට කැම්පස් පටං ගන්නේ ඔක්තෝම්බර් වලනං,ඔන්න අර මාස 4ත් සම්පූර්ණයි!!!එතකොට උසස්පෙළ හමාරකරලා , ජීවිතේ ජයගත්තු , ලාංකික නිදහස් අධ්‍යාපනේ පහස ලැබූ දක්ෂ ශිෂ්‍යයා , තමංගේ ජීවිතේ වටිනාම කාලයෙන් අවුරුදු 2ක් නාස්ති කරගෙන ඉවරයි , රජයේ සහ ලාංකික අධ්‍යාපන ක්‍රමයේ සාර්ථකත්වයට පිං සිදු වෙන්න.

    මීට සමාන්තරව ජත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන ලමයින්ගේ ජීවිත ගැන හොයලා බලමුද?

   ජාත්‍යන්තර පාසලක සාමාන්‍යපෙළ කරන්නේ අපි සාමන්‍යපෙළ කරන අවුරුද්දේම අගෝස්තුවේ.ඒ කියන්නේ අපිට මාස 3කට කලින්.ඒක ඉවර වෙලා මාසයක් ඇතුළත උසස්පෙළත් පටං ගන්නවා.එයාලගේ පේපර්ස් ඔක්කොම බලන්නේ එංගලන්තෙට යවලයි.එහෙම යවලත් ඒ පේපර්ස් මාසයක් ඇතුළත ප්‍රතිඵල සහිතව ලංකාවට එනවා.

     ඊලඟට එයාලා උසස්පෙළ කරන්නෙත් අපිට කලින් අවුරුද්දේ අගෝස්තුවල.එතනත් අවුරුද්දක වෙනසක්.එහෙම කරපු එයාලගේ ප්‍රතිඵල එනව මාසයක් ඇතුලත.ඊලඟ ජනවාරි වෙනකොට ඒ ලමයි තමංගේ ජීවිතේ ජයගන්න ඕනි කරන උසස් අධ්‍යාපනේට විදේශගතවෙනවා , එහෙමත් නැත්තං දැනට මෙරට පටං අරං තියෙන පුද්ගලික විශ්ව විද්‍යාලෙකට ඇතුලත් වෙනවා.

    ඔන්න ඔහොම කරුණු කාරනා සිද්ධවුණාම අපේ රටේ නිදහස් අධ්‍යාපනය ලැබූ ,උසස්පෙළ ඉහලින් සමත්වූ ලමයින්ගේ ජීවිතවලට අහිමිවෙච්ච අවුරුදු දෙක , පෞද්ගලික අධ්‍යාපනය ලැබූ ලමයි අර්ථවත්ව සහ ජීවිතේ ජයගන්න පාවිච්චි කරලා තියෙන බව අපිට පේනවා.

    ඒකට හේතුව වෙලා තියෙන්නේ බටහිර,පෞද්ගලික අධ්‍යාපනය තුල ඇති මනා කලමනාකාරීත්වය මිසක් වෙන කිසිම දෙයක් නෙවෙයි කියලත් හැමෝටම තේරෙනවා ඇති.

    ලංකාවේ මිනිස්සුන්ගේ ඇස් කවදා ඇරේවිද??මෙහෙම ගියොත් ශ්‍රී ලංකාව දියුණු වේවිද?

    මේ විදියට අධ්‍යාපන ක්‍රමවේදයේ ඇති දුර්වලතා නිසා අපේ ශිෂ්‍ය පරම්පරාවට සිදුවෙන විපත සහ අසාධාරණය කවදා නතරවේවිද???

    "ලංකාවේ උසස් අධ්‍යාපනය නිසා සිසුන්ගේ කෙස් ගස් සුදුවීම කවදා නතර වේවිද?"  

අපි නිර්මාණශීලී වෙමු

      ජංජාල චාමරට මේ දවස්වල හෝ ගාල විද්‍යුත් තැපැල් පණිවුඩ එනවා යාළුවන්ගෙන්.ඔය අතරේ මට ඊයෙත් හම්බුණා සිරා පින්තූර වගයක්.මේක හුඟක් අය දැකලා ඇති, ඒත් මට හිතුනා මේ පින්තූර ටික බ්ලොග් එකට දාන්න ඕනි කියලා.ඒ නිසා මම තව ටිකක් ජංජාලේ සැරිසරලා තව පින්තූර ටිකක් හොයාගත්තා මීට අදාල.හේතු 2ක් තියෙනවා;

හේතු මෙන්න මේවායි :

    1)  අපි හුඟක් දෙනෙක් පුරුදුවෙලා ඉන්නේ තමන්ට නැති දේවල් ගැන හිතහිතා හිතෙන් දුක්විඳින්න.එහෙමත් නැත්තං ඒ දේවල් තියෙන අනිත් ම්නිස්සු දිහා බලාගෙන හූල්ලන්න.ඒත් මේ පින්තූර ටික බැලුවාම හිතෙයි අපිට අවශ්‍යකරන ගොඩාක් දේවල් අපේ හිත සහ හැකියාව මෙහෙයවලා , ඉතාම කුඩා සම්පත් ප්‍රමාණයක් භාවිතා කරලා හදාගන්න පුලුවනි නේද කියලා.

    2) අනිත් කාරණේ තමයි අපි ප්‍රශ්නයක් දිහා බලන විදිය වෙනස් කලොත් , ඒ ප්‍රශ්නේ විසඳගන කොච්චර සරල සහ ප්‍රායොගික මාර්ග තියෙනවද කියල පෙන්වලා දෙන්න.
-----------------------------------------------------------------------------------------------------------
----------------------------------------------------------------------------------------------------------------
 
     මේ වගේ දේවල් දැකලා අපිට හිනා ගියත් , මේ වගේ පොඩි පොඩි දේවල් හදන , අලුතින් හිතන මිනිස්සුන්ට තමයි කවදාහරි මේ ලෝකෙ වෙනස් කරන්න පුලුවන් වෙන්නේ.

   ප්‍රශ්නයක් වෙලාවට ටක් ගාල ප්‍රායෝගිකව විසඳුමක් දෙන්න වගේම කවදාහරි මුළු ලෝකෙම පුදුම කරවන නිර්මාණ ඉදිරිපත් කරන්නත් පුලුවන් වෙන්නේ මේ වගේ නිර්මාණකරුවන්ටම තමයි.
 


    හැබැයි නිර්මාණ කරනවා කියලා මේ වගේ එකේ අන්තයටම යන්නත් එපා.එතකොට ඒක මෝඩකමක් මිසක් හැකියාවක් නෙවෙයි. :p

    ඉතින් අපි මේ පින්තූර ටික දිහා බලලා අද ඉඳන් අපිත් උත්සාහ කරමු , අපිම අපට අවශ්‍ය දේවලින් ඉතා කුඩා දෙයක් හරි නිර්මාණය කරගන්න.සමහරවිට ඉවතලන දේවල් පවා යොදාගන්න පුලුවන් වේවී.

    සාර්ථක නිර්මාණයක් කරගන්න සමහරවිට හැකිවේවී , විටෙක නොහැකි වේවී , ඒත් උත්සාහ කිරීම වටිනවා නේද?

----------------------------------------------------------------------------------------------------------------
ප.ලි. :

මේ සියළුම පින්තූර පාහේ මට ලැබුණේ වෙබ් අඩවියකින් බෙදාහැරපු විද්‍යුත් තැපැල් පනිවිඩයකින්.තව ගොඩාක් පින්තූර තියෙනවා එතන , කැමති අය ගිහිල්ලා රස විඳින්න.මෙන්න සබැඳුම >>>>>