Saturday, May 8, 2010

ඔස්ටියෝපොරොසිස් , ජනමාධ්‍ය සහ අපේ කාන්තාව

       " ඔස්ටියෝපොරොසිස් "(Osteoporosis) : අද සමාජය තුල වඩාත් දකින්නට හා අසන්නට ලැබෙන නමක්.මෙය වයස 50 ඉක්මවූ කාන්තාවන් අතර වැඩි ලෙස පවතින,අස්ථි දුර්වලතා රෝගයක් ලෙස අපි බොහො දෙනා සිතනවා.නමුත් මෙම රෝග තත්වය ගැන බොහෝ දෙනෙක් අතර තිබෙන , මේ මතය ගැන යමක් විමසා බැලිය යුතුයි කියලයි මට හිතුනේ.
      මම වෛද්‍ය විද්‍යාව ගැන ඒ තරම් දන්නේ නං නැහැ,ඒ වුනත් ජංජාලේ සැරිසරල හොයගත්තු විදියටනං මේ රෝගයෙදි සිදු වෙන්නෙ වයසට යාමත් සමඟ අස්ථිවල ස්ථරය හීන වීමෙන් ඒව ඉක්මනින් කැඩී බිඳී යන තත්වයට පත්වීම සහ කුදු ස්වභාවය ඇති වීමයි.
     නමුත් මෙහිදී අපගේ අවධානය යොමු වියයුතු අපි නොදන්න කරුණු කීපයක් තියෙනවා.එවා තමයි ;


1) මෙම රෝගය කාන්තා පාර්ශවයට පමනක් සීමා වූ රෝගයක් නෙවෙයි
2) සෑම කාන්තාවකටම මෙය වයස 50 ඉක්මවූ පමනින් නොවැලඳේ
3) අධික ලෙස මත්පැන් පානය කරන සහ ව්‍යායාම අඩු පිරිමින්ට මෙය වැලඳීමේ සම්භාවිතාව ඉතා ඉහලයි
4) මෙය වලක්වාගැනීමට ,වයස 25 ට පමණ පෙර ,ඉතා හොඳින් කැල්සියම් අඩංගු ආහාර පාන ලබාගතයුතුයි 

     නමුත් ලංකාව තුල ප්‍රචාරය වන ඔස්ටියෝපොරොසිස් රෝගය සම්බන්ඳ දැන්වීම් (කිරිපිටි සමාගමක් විසින් ප්‍රචාරය කරන ) මගින් මෙරට සමාජයට ලබාදෙමින් පවතිනුයේ මීට හාත්පසින්ම වෙනස් පනිවිඩයක්.එම පිරිස පවසන්නේ මෙය වයස 50 ඉක්මවූ කාන්තාවන්ට පමනක් වැළඳෙන රොගයක් බවත් , එම කිරිපිටි වර්ගය පානය කිරීමෙන් එම තත්වය මග හරවා ගත හැකි බවත්ය.සමාජයේ යහපත උදෙසා යැයි කියමින් ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක්ද සම්බන්ඳ කරගනිමින් මෙවැනි දැන්වීමක් ප්‍රචාරය කරන බව සමාජයට පෙන්වූවත්,මෙය ඔවුන්ගේ කිරිපිටි විකුණා ගැනීමටම පමනක් සීමාවූ දැන්වීමක් බව අපට පැහැදිලි වන්නේ මෙම දැන්වීම තුල මෙය කාන්තාවන්ට පමණක් වැළඳෙන රෝගයක් ලෙස හුවා දැක්වීම , එය වලක්වාගැනීමට එම කිරි පිටි වර්ගය පානය කරන ලෙස කරන ඉල්ලීමෙනුත්ය.තවද මෙම කැල්සියම් සිරුරට ලබා ගැනීම , කාන්තාවකුගේ සම්පූර්ණ වර්ධනයට පෙර (වයස 25 ට පමණ පෙර ) කල යුත්තක් බව නොපැවසීම තුල ඔවුන්ගේ කුහකත්වය තව තවත් තහවුරු වෙනවා.

    ඉතින් මෙවැනි තත්වයක් තුල අපේ කාන්තාවන් වැඩි වැඩියෙන් එම කිරි පිටි බීමට නැඹුරු වී සිටිනවා.ඒත් රෝගයෙන් මිදීමට එය පමණක් ප්‍රමාණවත් ද යන්නත් ,එම කිරි පිටි වර්ගයෙන් අවශ්‍ය කැල්සියම් සිරුරට ලැබෙනවාද යන්නත් අප ඉදිරියේ තිබෙන ප්‍රධාන ගැටළු කීපයක්.

වෛද්‍යවරුන් පවසන පරිදි මෙම රෝගයෙන් මිදීමට කළ යුතු දෑ මේවාය ;


1) දිනපතා ව්‍යායාම කිරීම
2) පූර්ණ වර්ධනයට පෙර හොඳින් කැල්සියම් සිරුරට ලබා ගැනීම (වයස 25 ට පෙර )
3) අලුත් පලතුරු ආහාරයට එක් කර ගැනීම , ජලය යහමින් පානය කිරීම සහ ක්ෂණික ආහාර වලින් හැකි තරම් ඉවත් වී ස්වභාවික ආහාර ගැනීමට පුරුදු පුහුණු වීම
4) නිවැරදි ඉරියව් පවත්වාගැනීම
5) මත්ද්‍රව්‍ය භාවිතය අවම කිරීම

     එම නිසා මෙවැනි පෙරකී පෞද්ගලික සමාගම් විසින් මාධ්‍ය හරහා සමාජගතකරන පනිවිඩ කෙතරම් දුරට සත්‍යදැයි පරීක්ෂාකර බලා,සමාජගත මෙවැනි සුලභ රෝග තත්ව හා ඒවායෙන් මිදීමට ගතයුතු නිවැරදි ක්‍රියා මාර්ග මොනවාද යන්න පිලිබඳව රජය හා සෞඛ්‍ය අංශ විසින් , සමාජය නිවැරදිව දැනුවත් කළ යුතු කාලය එලඹ ඇති බව මගේ පෞද්ගලික හැඟීමයි.

මේ පිලිබඳව ඔබේ අදහස කුමක් ද?

වැඩි දුරටත්  දැනගැනීමට ( ඉංග්‍රීසියෙන් ) :   
     

7 comments:

  1. ඔස්ටිඕපොරෝසිස් කියන්නෙ රෝගයක් කියල පිලිගන්න බැහැ. ඒක ජීවිතයේ ඇතිවන ශාරීරික වෙනස් වීමක් කියලයි සලකන්න ඕන. මීට අවුරුද සීයකට ඉස්සර හිටිය මිනිසුන්ට ඕව තිබුනෙ නැද්ද? ඒ මිනිස්සු කෙඳිරි ගෑවද? දැන් ලෝකයේ තියෙන නොයෙක් ප්‍රතිකාර.. ෆොසමැක්ස් කියල බෙහෙතක් තියෙනව. කිරි බොන්න කියනව. වෛටමින් ගන්න කියනව, මොකද? මේක ලෙඩක් කියලයි දැන් කියන්නෙ. ඇත්ත වශයෙන්ම මේක වයසට යන කොට ඇතිවෙන ශාරීරික තත්වයක්.

    ReplyDelete
  2. ඔව්ව අයිති වෙන්නෙ විහින් දමාගන්න ලෙඩ වලට...ඔයකාලෙට හැදෙන හන්දිපත් අමාරුව සමහරු දැන් හඳුන්වන්නෙ,,,ඔය නමින්...සිද්දාර්තෙ වාත විදුර0ගෙ වාගෙ..තෙලක් ගාල අතගානකොට ඔව්ව හරියනව කියල පිලිගන්න මොඩර්න් ආච්චිල කැමති නෑ නෙව......

    ReplyDelete
  3. කාන්තාවන්ට හැදෙන ලෙඩ ගැන කාන්තාවගෙන් අදහසක් මේ. ලංකාවේ අපි වැඩියෙන් කෑම බීම බෙදන්නෙ පවුලේ ඉන්න පිරිමි අයට. අන්තිමට ගොඩක් ලාංකික පවුල්වල අම්මලා හාමතෙත් ඉන්නවා. ඒ අතීතයේ කරපු සමීක්ෂණවලින් ඔප්පු වෙච්ච කරුණක්. අද දවසේ වුනත් කාන්තාවෝ කන ප්‍රෝටීන් පදාර්ථ පිරිමි අයට වඩා අඩුයි. කැල්සියම් කිරි වලින් ලැබෙන්නෙ තේ කෝප්පයෙන් විතරක් වගේ. සමහර අයට කැල්සියම් ජීර්ණය අපහසුයි ස්වභාවිකවම. මේක "ශාරීරික තත්වයක්" වන්නේ කාන්තාව දරුවන් බිහිකරන්න තමන්ගෙ කැල්සියම් යොදවන නිසාත්,අතීතයට වඩා වැඩි කාලයක් අද ජීවත්වෙන නිසා. වයසට යද්දි ඇතිවන තත්වය ගැන "විහින් දමා ගන්න ලෙඩ" කියා කීම වැරදියි. http://arunishapiro.wordpress.com/?s=osteoporosis කියවන්න.

    ReplyDelete
  4. සරත් වෙත - කතාව ඇත්ත සහෝ...ඉස්සර මිනිස්සුන්ටත් ඔය තත්ව තිබුනනේ.මට හිතෙන්නේ දැන් ඒක ලෙඩක් කියල උලුප්පලා පෙන්වන නිසා,වැඩි වැඩියෙන් මේ තත්වය සමාජය තුල කැපිලා පේන්න පටං අරන්.සමහරු හිතෙන්ම ලෙඩ වෙනවා මේක අහල අහලම.

    ඉන්දි වෙත - ඒ කතාව සහතික ඇත්තක්!!! දැන් මිනිස්සු නිකංම ඇඟේ තියෙන වෙන පොඩි අමාරුත්,මේ වගේ ලොකු ලොකු ප්‍රශ්න කියල හිතෙන් මවාගෙන දුක්විඳිනවා කියලයි මටත් හිතෙන්නේ

    අරුනි වෙත - ස්තුතියි නොදැකපු කරුණකට අපේ හිත යොමු කල එකට.අපේ පවුල් වල වුනත් අම්මල කන්නේ,පවුලේ හැමෝටම කන්න බොන්න දීල ඉවර වුනාමනේ.සමහර වෙලාවට ඒ අය හරියට නොකා අපි කන හැටි බලලා බඩ පුරවගන්නවා.ඒක තමයි අම්මලාගේ උතුම් ගුණය.

    ඒක නිසා මම හිතන්නේ මේ තත්වයෙන් මිදෙන්න පවුල් ඇතුලෙත් යම්කිසි වැටහීමක් සහ අවබෝධයක් තියෙන්න ඕනේ කියල හිතෙනවා

    ReplyDelete
  5. ඔස්ටියොපොරොසිස් කියන්නෙ කාන්තාවන් හිතෙන් හදා ගන්න ලෙඩක්වත්, වයසට යනකොට ඇතිවෙන සාමාන්‍ය තත්ත්වයක්වත් නෙවෙයි. ඒක ප්‍රතිකාර ලබා ගතයුතු තත්ත්වයක්... මේ රෝගයෙන් පෙලෙන කාන්තාවක් විඳින දුක දැක්ක නම් මේක විහින් හිතෙන් හදා ගත්තු දෙයක් කියලා කවුරුත් කියන්නෙ නෑ..

    කාන්තාවකට මෙම රෝගය ඇති වීමට ප්‍රධානම හේතුවක් ඊස්ට්‍රජන් හෝමෝනය අඩු වීම, පිරිමි අයට මෙය අති වෙන්නේ ඇන්ඩ්‍රොජන් හෝමෝනය අඩු වීමෙන්... මීට අමතරව තයිරොයිඩ් ග්‍රන්ථියේ ගැටළු සහිත අයටත් වැඩි අවදානමක් පවතිනවා... හුඟක් සිහින් සිරුරු සහිත, කුඩා ශරීරයක් ඇති අයට මෙම රෝගය වැලඳීමේ අවදානම ඉතාම වැඩියි.. ඒ වගේම මෙම රෝගය පරම්පරාවෙන් පරම්පරාවට උරුම වෙන රෝගයක්...

    මෙවැනි රෝගීන්ගේ උරහිසේ සිට කොඳු නාරටිය ඔස්සේ පහලට තද වේදනාවක් ඇති වෙනවා... අත් වලින් කිසිම බර වැඩක් කරන්න බැරි තරමට වේදනාවක් ඇති වෙනවා... එවන් රෝගියෙක් කකුල ලිස්සලා බිම වැටුනත් අස්ථි බිඳී ගිහින් අoශභාග තත්වයක් ඇති වීමේ හැකියාව ඉතාමත් වැඩියි..

    ඒ නිසයි එම අස්ථි ශක්තිමත් කිරීම සඳහා ප්‍රතිකාර ලබා ගත යුත්තේ... සරත් සහොදරය කිව්වා වගේ මේ සඳහා විවිධ ප්‍රතිකාර අද වෙනකොට හොයාගෙන තියෙනවා... ෆොසමැක්ස්, එවිස්ටා, ඇක්ටොනෙල්, ඩිඩ්‍රොනෙල්, බොනිවා, රෙක්ලාස්ට් කියන්නෙ ඒවයෙන් සමහරක්... ඊස්ට්‍රජන් හෝමෝනය ලබා දීමෙන් මේ තත්ත්වය ඉක්මනින් සුව කල හැකි වුනත් දීර්ඝ කාලීනව එය ලබා ගැනීමෙන් පිළිකා තත්ත්ව ඇති වෙන බව දැන් සොයා ගෙන තිබෙනවා...

    මෙම ප්‍රතිකාර ලබා ගැනීමේදී රෝගියාගේ ශරීරය තුල සිදු වන අස්ථි දිරා යෑමේ වේගය අඩු වෙනවා.. එම නිසා ගෙදර දොරේ සිදුවෙන පුoචි පුoචි අනතුරු වලින් පවා අoශභාග රෝගී තත්ත්වයක් ඇති වීමේ අවදානම නැති වෙනවා... ඒ නිසා මම අවසානයේ ඉල්ලන්නෙ මෙච්චරයි... ඔයාලගෙ ගෙදරත් මෙවැනි රෝගියෙක් ඉන්නවනම්, හිතෙන් හදාගත්තු ලෙඩ කියලා නොසලකා හරින්නෙ නැතුව, වහාම ප්‍රතිකාර සඳහා යොමු කරන්න... එමගින් රෝගියාගේ ජීවිතයට ඇති අවදානම බොහෝදුරට අවම කර ගත හැකියි...

    ReplyDelete
  6. ස්තුතියි පැටියෝ!!!! මටත් හිතෙන්නෙ ඒක එහෙම තමයි. :D

    ReplyDelete

මගේ ජංජාලය කියවලා හිතුණේ මොනවද?
කියලම යන්න පල්ලෙහා තියෙන කොටුව ඇතුලේ :) :D