Monday, September 30, 2013

මාවතේ මතක සටහන්....


අපිට අපේ ජීවිත කාලේදී එක එක ආකාරයේ පුද්ගලයෝ මුණගැහෙනවා.ඒ හැම කෙනෙකුගේම ජීවිතවල අපිට ඉගෙනගන්න දේවල් බොහොමයක් තියෙනවා.
කැම්පස් එකේදී මුණගැහුණු , මට ජීවිතේ ගැන පාඩම් ගොඩක් කියලා දුන්නු එක්තරා වීරවරයෙක් ගැනයි මේ කතන්දරේ...

විශ්ව විද්‍යාලේ එකේ අපිත් එක්ක දමිල ළමයි ගොඩ දෙනෙක් ඉගෙනගන්නවා.සුරේෂ් කියන්නේ ඒ වගේ, අපේම විශ්ව විද්‍යාලේ අපේ දෙපාර්තමේන්තුවේ ඉගෙන ගන්න දමිල ළමයෙක්.කැම්පස් එකේ ගොඩක් අය නොදන්නවා වුනාට සුරේෂ් මේ තරම් දුරට ඉගෙනගෙන තියෙන්නේ බොහොම  මහන්සියෙන් කරදර ගොඩක් ඉවසා දරාගෙන. ඒ කතාව මම දැනගත්තේ අහම්බෙන්...මීට දින කිහිපෙකට කලින් ඉන්ටවල් එකේ දී කැන්ටින් එකෙන් ගත්තු ප්ලේන් ටී එකක් තොලගාන ගමන් මම අහපු අරුම පුදුම කතාවේ සාරාංශය තමයි අද මම මේ කියන්න යන්නේ...

සුරේෂ් ඉපදිලා තියෙන්නේ මුලතිව් මහා කැලේට මායිම් වෙලා තිබුණු පොඩි ගම්මානෙක .සුරේෂ් ඉස්කෝලේ ගිහින් තියෙන්නෙත් මුලතිව්.පොඩි කාලේ ඉඳන්ම ඉගෙනීමට අසාමාන්‍ය දක්ෂතාවයක් තිබුනත් , එයාලට ඉගෙනගන්න මහා ලොකු පහසුකම් තිබිලා නැහැ.එයාගේ අම්මයි තාත්තයි , සුරේෂ්ගේ පවුලේ 3 දෙනෙක්ව නඩත්තු කලේ ගොවිතැන් කරලා හම්බකරපු සොච්චම් මුදලින්.පවුලේ වැඩිමලා වුනු අයියා වැඩිදුර ඉගෙන ගත්තේ නැහැ.තමන්ගේ පවුලේ බර කරට අරගෙන නඩත්තු කරන්න දෙමවුපියෝ මහන්සි වෙනවා දැක්ක අයියා එයාගේ ඉස්කෝලේ ගමන අවුරුදු 14ක් වෙද්දී නවත්තනවා , එතකොට සුරේෂ් ගේ වයස 7යි.මුලතිව් ඉඳන් වවුනියා වලට බඩු අරගෙන යන ලොරියක වැඩට යන්න සුරේෂ්ගේ අයියා තීරණය කරනවා.අකමැත්තෙන් වුනත් අම්මයි තාත්තයි එයාට ඉඩ දෙනවා මොකද ළමයි 3 දෙනෙක් එක්ක ජීවත් වෙන්න , ගොවිතැනින් හම්බවුනු ආදායම කොහෙත්ම නොසෑහුනු නිසා... 

පොඩි කාලේ ඉඳන්ම සුරේෂ්ගේ අයියට පොත් කියවන පුරුද්දක් තිබුනා.අතට අහුවෙන ඕනිම පොතක් විතරක් නෙවෙයි , පොඩි පත්තර කෑල්ලක් වුනත් අහක නොදා කියවන්න එය පුරුදු වෙලා හිටියා. සුරේෂ් කියන විදියට සුරේෂ්ට පොත් කියවන්න පුරුදු කලෙත් අයියා. ඉස්කෝලේ ගමන අත් හැරියත් , පොත්පත් කියවන පුරුද්ද අතාරින්න නම් අයියා කැමති වෙලා නැහැ. එයා හැම සතියකම වවුනියා ගිහින් එද්දී මොකක්හරි පොතක් අරන් එන්න පුරුදු වෙලා ඉඳලා තියෙනවා. ඒ කවුරුවත් වෙනුවෙන් නෙවෙයි, අයියටත් වඩා පොත් වලට ආදරේ කරපු සුරේෂ් වෙනුවෙන්. ඉතින් මේ විදියට අයියා ගෙනත් දීපු පොත්පත් වලින් සුරේෂ් තව තවත් ඉගෙන ගන්න නැඹුරු වුනා. විෂය කරුණු විතරක් නෙවෙයි,මුළු ලෝකෙම ගැන හොඳ පරිපුර්ණ දැනුමක් එකතුකරගන්න සුරෙෂ්ට පුළුවන් වුනේ අයියා නිසා කියලයි අදටත් සුරේෂ් කියන්නේ... ඉතින් ඔය විදියට පවුලේ තත්වේ ටිකෙන් ටික යහපත් වේගෙන එනකොට කවුරුත් නොහිතපු විදියේ අකරතැබ්බයක්  සුරේෂ්ලට වෙනවා... ඒ අවුරුද්ද දරුණුවටම යුද්ධේ කෙරුණු අවුරුද්දක්... LTTE එකට වගේම රජයේ හමුදාවටත් බරපතල හානි සිද්ධවුණු කාලයක්.කිසිම කෙනෙක් හිතුවේ නැති වෙලාවක සුරේෂ්ලාගේ ගෙදරට LTTE එකෙන් පනිනවා.. LTTE  එකෙන් සුරේෂ්ගේ අයියව  බලහත්කාරෙන් පැහැරගෙන යනවා.LTTE එක යුද්ධෙට යවන්න අවසාන කාලේ සොල්දාදුවෝ එකතු කලේ ඒ විදියටලු..මේ සිද්ධිය වෙන වෙලාවේ සුරේෂ්ගේ අම්මා සුරේෂ්වයි එයාගේ නංගිවයි අරගෙන මහ කැලේට පැනලා හැන්ගෙනවා..සුරේෂ්ට මොනවද මේ වෙන්නේ කියල හිතන්නවත් වෙලාවක් තිබුනේ නැහැ...අයියව පැහැරගෙන යන්න හදනකොට ඒකට විරුද්ධ වුන තාත්තාට සිද්ධ වුනේ වෙඩි කාලා එතනම මැරෙන්න...

මේ විදියට ජීවිතේ කවමදාවත් නැති තරමට සුරේෂ් එයාගේ අම්මයි නංගියි එක්ක තනිවෙනවා... ඒ 2008 අවුරුද්ද... සුරේෂ් උසස්පෙළ ලියන්න හිටපු අවුරුද්ද...විභාගේ ගැන සුරෙෂ්ට ලොකු බලාපොරොත්තු තිබුනා.ඒත් ඒ හැමදෙයක්ම මේ කාලකන්නි යුද්ධේ ඉස්සරහ බොඳවෙලා යන හීන බවට පත්වෙමිනුයි තිබුනේ.යුද්ධේ තිබුණු දරුණුකම නිසාම 2008 දී උසස්පෙළ කරන්න සුරෙෂ්ට බැරි වෙනවා.උසස්පෙළ ගැන තිබුණු හීන බොඳවෙලා යද්දී , ජීවිතේ බේරගන්න මාස ගානක් තිස්සේ කැලේට වෙලා හැංගිලා ඉන්නයි සුරෙෂ්ලට සිද්ධ වෙන්නේ... අන්තිමට රජයේ හමුදාව මුලතිව් වල හිටපු සුරෙශ්ලාව බේරගනිද්දී  2009 අවුරුද්දත් පටන් අරගෙන ඉවරයි.. තාත්තයි , අයියයි සදහටම නැතිවුණු පවුලක බර කරට අරගෙන , නංගිවයි අම්මවයි ජීවත් කරවන්න සුරේෂ් තමන්ගේ අයියා ගත්තු තීරනෙම ගන්න සුදානම් වෙද්දී , සුරේෂ්ගේ අම්මා ඒකට ඉඩ දෙන්නේ නැහැ... පලවෙනි පාර විභාගේ කරන්න බැරිවුණු නිසා,මේ පාර කොහොමහරි විභාගේ කරගන්න කියන පන්නරය සුරෙෂ්ට හම්බවෙන්නේ එයාගේ ආදරණීය අම්මගෙන්...

“මම කොහොමහරි උඹලට කන්න බොන්න දෙන්නම් පුතේ..උඹ හොඳට ඉගෙන ගනින්...”

හැම අම්ම කෙනෙක් වගේම සුරේෂ්ගේ අම්මගේ එකම බලාපොරොත්තුව වුනේ තමන්ගේ පුතා හොඳට ඉගෙනගෙන හොඳ තැනකට එනවා දකින්නයි...එත් සුරේෂ්ට යන්න පන්ති තිබුනේ නැහැ, සුරේෂ් ආසාවෙන් ඉගෙනගන්න ගිය ඉස්කෝලේ,ඒ වෙනකොට සරණාගත කඳවුරක් වෙලා තිබුනා...ඒත් වාසනාවකට සුරේෂ් තමන්ගේ ජීවිතේටත් වඩා ආදරෙන් පරිස්සම් කරපු පොත් ටික එයාගේ පිහිටට එනවා...2008 උසස්පෙළ කරපු යාපනේ මිතුරෙකුගෙන් සුරෙෂ්ට ඕන වෙලා තිබුන,මග හැරුණු උසස් පෙළ සටහන් පොතුත් හම්බවෙනවා… සුරේෂ් මහන්සිවෙලා පාඩම් කරන්නේ තමන් වෙනුවෙන් විතරක් නෙවෙයි,සුරෙෂ්ට නැතිවුණු තාත්තගෙයි , අයියගෙයි එකම ආසාව ඉෂ්ට කරන්න වගේම අම්මයි නංගියි වෙනුවෙන් ලොකු වගකීමක් තියෙන බව දන්නා නිසා...  
රෑ , දවල් වෙනසක් නැතුව ටකරන් වලින් වටකරපු තාවකාලික මඩුවක ඉඳන් පාඩම් කරපු සුරේෂ් , 2009 උසස් පෙළ ලියන්න ඉදිරිපත් වෙනවා... ජීවිතේ මහා පෙරලියක් වෙන බව සුරේෂ් දැනගෙන ඉන්න නැතුව ඇති,ඒත් සුරේෂ් උසස් පෙළ ඉහලින්ම සමත් වෙන්නේ වවුනියා දිස්ත්‍රික්කයෙන් පළමු වැනි ස්ථානේ අරගෙනයි...

සුරේෂ් දැන් දෙවෙනි වසරේ සරසවි සිසුවෙක්.. තවත් අවුරුදු දෙකකින් එයා රටටම සේවය කරන මහා උගතෙක්...එයාගේ අම්මයි නංගියි වෙනුවෙන් හැම සතියකම අමතර පන්ති කරලා සල්ලි යවන්න සුරේෂ් අමතක කරන්නේ නැහැ... 

අමතර පන්ති නොයා, හරියට ඉස්කෝලෙවත්වත් යන්න විදියක් නැතුව, දුක් මහන්සියෙන් පොත පත කියවලා සරසවි වරම් ලබපු සුරේෂ් ඇත්තටම අපේ කාලයේ වීරයෙක්... 

මෙච්චර වෙලා මම කිව්වේ, ඔයාලා කියෙව්වේ, සුරංගනා කතාවක් නෙවෙයි.. නම ගම ටිකක් වෙනස් වුනත්,හැබැහින්ම අහන්නට ලැබුණු,අපි වගේම හුස්මගන්න,පොලවේ පය ගහලා ජීවත් වෙන තවත් එක මනුස්ස ආත්මෙක ඇතුලාන්තයක්... සුරේෂ් මට එයාගේ කතාව ඉවර කරලා, අන්තිමට කියපු දෙයක් මතකයි,මට කියවලා ඉගෙන ගන්න හරි පොත පත තිබුනා, ඒත් තවත් ගොඩක් දෙනෙකුට එහෙම කියවලා ඉගෙන ගන්න පොතක්වත් තිබුනේ නැහැ!ඒ සමහරු අදටත් දුක්වෙනවා ඉගෙනගන්න ආසාවක් තිබිලත්, ඉගෙන ගන්න අවස්ථාවක් නොතිබුණු එක ගැන...” 

කියවන්නට අවැසි , ඉගෙනීමට ආස කරන ළමයි සහසකුත් මේ රටේ හැම තැනකම ඇති... ඒත් සුරේෂ් කියනවා වගේ ඒ හැම දෙනෙක්ටම වාසනාවක් නැහැ … මොහොතක් හිතලා බලන්න... අපි කීදෙනෙක් පොත් කොච්චර නිකරුනේ ගොඩ ගහගෙන ඉන්නවද? එක පාරක් කියවපු පොත් කොච්චරක්නම් අපි තියාගෙන ඉන්නවද ආයෙමත් කිසිම දවසක නොකියවා?

ඒ වගේ පොත් සුරේෂ්ලා වගේ තවත් ඉගෙන ගන්න කැමති අහිංසක ළමයින් වෙනුවෙන් දෙන්න පුලුවන්නම් ඒක ලොකු උදව්වක් වෙනවා නේද?



"පොතක් පරිත්‍යාග කරමු , අනාගතයක්ම එලිය කරමු!" [DONATE A BOOK, LIGHT A FUTURE!] කියන තේමාව සහිතව , පොත් අවැසි අහිංසක දරුවන් උදෙසා ක්‍රියාත්මක වන "NEEDY READERS" සංසදය හරහා කෙරෙන්නේ පෙරකී අවශ්‍යතා සහිත දරුවන් උදෙසා පොත් පත්, "ඇති", "හැකි" අයගෙන් එකතුකොට බෙදාදීමයි..

මෙතනදී "ඇති", "හැකි" කියලා සඳහන් වෙන්නේ , තමන් පාවිච්චි කරපු ,වරක් කියවපු , ඒත් තවදුරටත් ඒ පොත් භාවිතා නොකර තබාගෙන ඉන්න උදවියයි...

ඉතින් ඔයාලටත් හිතෙනවා නම් , සුරේෂ් වගේ අහිංසක දරුවන්ගේ , අනාගතයක්ම ආලෝක කරන්නට , සුළු වශයෙන් හරි ආධාරයක් , උපකාරයක් කරන්නට අවශ්‍යයි කියලා ; එන්න! අත්වැල් බැඳගන්න අපිත් එක්ක... ඔබ පරිත්‍යාග කරන එක පොතක් , ජීවිත ගණනාවක් වෙනස් කරන්නට උදව්වක් වේවි!

"පොතක් පරිත්‍යාග කරමු , අනාගතයක්ම එලිය කරමු!" වැඩිදුර තොරතුරු : වෙබ් පිටුව , මුහුණු පොතේ පිටුව

2 comments:

  1. පොත් පරිත්‍යාග කලාට ඕවා නිසි තැන්වලට ලැබෙයිද කියන සැකේ තමයි තියෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. අන්න ඔය කාරනේදී තමයි "අපි" සාපේක්ෂව වෙනස් වෙන්නේ :) පුරාජේරු කියා කියා නොඉඳ , රට පුරාම පාසල් සහ වෙනත් මධ්‍යස්ථාන [ත්‍රිකුණාමලය යුධ හමුදා කඳවුර , වැලිකඩ බන්ධනාගාරය ඇතුළු] 39 කට , පහුගිය වසර තුල පොත් 24 000 ක් පරිත්‍යාග කරලා , රජයේ අනුමත සංවිධානයක් බවට පත්වෙන්න අපිට හැකියාවක් ලැබුනේ , අපේ වැඩ පිළිවෙල ක්‍රමානුකුල සහ විශ්වාසවන්ත නිසා.

      අපි කරපු දේවල් ගැන විස්තර දැනගන්න : https://www.facebook.com/NeedyReaders

      සහ වෙබ් පිටුව : http://imcds.org/ පැත්තේ ගිහින්ම බලන්න :)

      Delete

මගේ ජංජාලය කියවලා හිතුණේ මොනවද?
කියලම යන්න පල්ලෙහා තියෙන කොටුව ඇතුලේ :) :D