Saturday, July 31, 2010

කැම්පස් ජීවිතේ ෆන් කෝටියයි!!! [ කැම්පස් සටහන් 3 ]

පහුගිය සති දෙකේ ගෙදර ආවත් ජංජාලේට මුකුත්ම ලියලා එක්කරන්න තරං වෙලාවක් තිබුණේ නෑ.ඔන්න ඒ නිසා අදවත් ලියන්න හිතුවා අපේ කැම්පස් එකේ අලුත් ජීවිතේ ගැන තව විස්තර ටිකක්.

අපිට "ඇක" [ ඒ කිව්වේ academic ] පටං ගන්නේ අගෝස්තු 23 ඉඳන්.ඉතිං එතකන්ම තියෙන්නේ pre-academic term එක. මේ දවස්වල ඉතිං වැඩිපුර තියෙන්නේ අයිස් ගැහිල්ලක්ම තමයි.හුඟාක් වෙලාවට ලෙක්චර් එකක් නෑ කියලා දැනගත්තු ගමන් අපි යනවා table tennis ගහන්න හරි කැරම් ගහන්න හරි.ඒ පොට් එක තියෙන්නේ "වළ කැන්ටිම" උඩ.[ අපේ කැන්ටින් කීපයක් තියෙනවා.ඒවායෙන් එකක් තමයි "වළ කැන්ටිම".අනික්වා තමයි "ගොඩ කැන්ටිම","ගොඩ උඩ කැන්ටිම" සහ "එල් කැන්ටිම".තව එකක් තියෙනවලු , ඒක civil department එක පැත්තේ"ලු" තියෙන්නේ.ඒකේ නම නං තාම දන්නේ නෑ. ]එහෙමත් නැත්තං ජිම් එකට ගිහින් බැඩ්මින්ටන් ගහනවා.මොනවාවුණත් මේ දවස්වල කවදාකවත් නැතිතරං ඇඟ මහන්සිවෙන්න සෙල්ලං නං කලා.[ පුදුමේ කියන්නේ කැම්පස් ගිහින් සති දෙකෙන් මගේ ඉනත් අඟල් දෙකකින් විතර අඩුවෙලා!!! ]

ඒ අපේ free වෙලාවට කරන සෙල්ලං ගැනනේ කිව්වේ.ඊට අමතරව හවස්වරුවේ සිරාවටම කරන ක්‍රීඩා ගැනයි මේ කියන්න යන්නේ.

අපේ කැම්පස් එකේ සාමාන්‍යයෙන් කැම්පස් එකක තියෙන ක්‍රීඩා හැම එකක්ම වගේ තියෙනවා.සාමාන්‍යයෙන් කැම්පස් වල දුලබ,"ඔරු පැදීම"( rowing ) වගේ ක්‍රීඩාත් තියෙනවා.මාත් ඉතිං ඔන්න හා හා පුරා කියලා පටං ගත්තා කවුරුත් දන්න කියන සෙල්ලම "ක්‍රිකට්".9 වසරේ ඉඳන් 11 වෙනකං පොඩි club එකක ප්‍රැක්ටිස් ගියාට මම ඉස්කෝලේ සෙල්ලං කරල නෑ.ඒත් ඉතින් කැම්පස් එකේදි ආපහු ක්‍රිකට් ගහන්න ඕනි කියලා හිතුනා.වැඩේ කියන්නේ ඉතින් අවුරුදු ගානක් මහන්සි වෙන්න සෙල්ලං නොකරපු මේ ඇඟවල්වලට එක පාරටම තදබල ප්‍රැක්ටිස් පාර දරාගන්න බැරි එක තමයි :) පලවෙනි දවස් ටිකේම සෑහෙන්න අවුල්.ඒත් ඉතින් ටික දවසක් යද්දි හරියයිනේ :)

සංගම් ගැන කියද්දී GAVEL [ ඉංග්‍රීසි කථනය දියුණු කරන සංගමයක් ],AIESEC [ ජාත්‍යන්තරව ව්‍යාප්ත වූ,ලොව විශාලතම තරුණ නායකත්ව පුහුණු සංගමය ] සහ ROTARACT [ සමාජ සබඳතා,අන්තර් සබඳතා දියුණු කරනා ලොව විශාලතම සංගම් වලින් එකක් ]ගොඩක් ඉස්සරහින් ඉන්නවා.තව classical music එකත් සිරා!!!අපිත් ඉතින් ROTARACT පැත්තේ ගියා ;) තාම හරියටම සෙට් වුණේ නෑ.හිමීට හොයල බලලා එකකට සෙට් වෙනවා.

අපේ බෝඩිම ගැනත් කියල ඉන්න එපැයි!බෝඩිම තියෙන්නේ කැම්පස් එකේ ඉඳන් කිලෝමීටරයක් විතර දුරින්.පයින් යන්න විනාඩි 10ක් 15ක් විතර යනවා.ඒ වුණාට පොට් එක සිරා!හරිම නිදහස්.සමහරුන්ගේ බෝඩින්වලට සාපේක්ෂව දිව්‍ය ලෝකයක් වගේ.නිදාගන්න කාමරේ වෙනමයි,පාඩම් කරන්න වෙනම ලොකු කාමරේකුයි,කෑම බීම තියන්න පොඩි පැන්ට්‍රි එකකුයි , bathroom එකකුයි තියෙනවා.

මෙතනට සෙට් වෙලා ඉන්නේ අපේම ඉස්කෝලේ 4 දෙනෙක්.කශ්ටිය මෙහෙමයි ; සනුක , ගම්පහ පොරක් , කවීන් - මෑනුත් ගම්පහ , නුවන් හෙවත් අලයා - වැලිමඩ බුවෙක් සහ මම!

අපේම උඩ තට්ටුවේ ඉන්නවා අපේ ඉස්කෝලෙම 9 දෙනෙක්.ඒක තනිකර ගෙයක්ම වගේ තමයි.නිදාගන්න කාමර 3යි , පැන්ට්‍රි දෙකයි , පාඩම් කරන කාමර දෙකයි , bathroom දෙකයි.

ඉතින් ඔක්කොම එකතු කලාම අපේම ඉස්කෝලේ 13 ක් සෙට් වෙලා ඉන්නව එකම තැන!ඒ නිසා මේක දැන් Royal බෝඩිම බවට පත්වෙලා :))

 ම්ම්...දැනට මේ මදැයි.හිමීට ලියන්නම්කෝ තව විස්තර.එහෙනන් මම කැපුනා.

[ මම ගෙදර එන්නේ සති අන්තේ නිසා ජංජාලේ සැරිසරන්න වෙලාවක් නෑ.ඒ නිසා අනිත් අයගේ ලිපි කියවන්න විදියකුත් නෑ.ඒකට සමා අවසර.Laptop එකකුයි internet connection එකකුයි සෙට් කරගත්තාම බෝඩිමේ ඉඳන්ම සෙට් වෙන්න බැරියෑ!!හැබැයි ඒකට කල් යයි මොකද ඒකට මුදල් ප්‍රතිපාදන එපැයි!!!:((( ]

Saturday, July 10, 2010

කැම්පස් ජීවිතේ කෙමෙන් කෙමෙන් ජොලි බර වේ! [ කැම්පස් සටහන් 2 ]

ඔන්න ඉතින් මමත් ගිය සතියේ හෙවත් ජුනි 29 වෙනිදා හා හා පුරා කියලා ලංකාවේ කැම්පස් එකකට ගොඩ උනා නොවෑ!වැස්සකට නං නෙවෙයි ඕං!:) ඉගෙන ගන්ට කියලා!

පහුගිය පෝස්ට් එක ලියද්දී මම ටිකක් මෝල් වෙලා හිටියට මේ පාරනං කියන්න තියෙන්නේ කැම්පස් ජීවිතේ ලස්සන වේගෙන එනවා කියලයි.

අපිට තාමත් අධ්‍යයන කටයුතු පටන් අරගත්තේ නෑ.දැන් තියෙන්නේ pre-academic හෙවත් "පෙර අධ්‍යයන" සමයක්.[තේරෙන බාසාවෙන් කිව්වොත් අයිස් ගහන කාලයක් :) ]

ඔය කාලේදි ඉතින් අපිට තියෙන්නේ ඉංග්‍රීසියි , පුස්තකාලේ භාවිතා කරන විදිය ගැනයි , ගණිත ඉතිහාසය වගේ මූලික දේවල් කීපයක් විතරයි.ඒ වගේම මේ කාලේදි තමයි අපිට අපේ බැච් එකේ අළුත් යාලුවෝ එහෙම අඳුනගන්න , කතාබහ කරන්න තියෙන හොඳම කාලේ.මොකද මේ දවස්වල විතරයි අපේ බැච් එක , අනිත් පරන බැච් වලින් වෙන්කරලා අඳුනගන්න පුළුවන් වෙන්නේ.හේතුව අපි dress-code පිටින් යන්නේ මුල් මාස කීපය විතරක් නිසා. [ ඒ කිව්වේ පිරිමි ලමයි කළු සපත්තු දාලා,කොට්න් කලිසන් ඇඳලා , කමිස ඇඳලා , යටකරලා සහ ගෑණු ලමයි සාය හැට්ට ඇඳලා පිලිවෙලකට යෑම. ]

මේ මුල් මාස ටික ගතවුණාට පස්සේ අපිත් අනිත් බැච් වගේම ඩෙනිමක් ගහලා , ටී ශර්ට් එකක් ඇඳගෙන කැම්පස් යන්න පටන් ගනීවි.එතකොට අපේ බැච් එකේ අය කවුද කියලා හොයාගන්නවත් හම්බවෙන්නේ නෑ.

ඉතින් අපි මේ දවස්වල ගොඩාක් යාලුවෝ අඳුනගත්තා.රටේ හතර දික්භාගෙන්ම යාලුවෝ හම්බවුණා.තවමත් අඳුනාගනිමින් පවතිනවා.

දැන් දැන් අපිට කැම්පස් එකේ පරිසරයත් හුරුවෙලා.මුල් දවස්වල යන එන තැන් හොයාගන්න බැරුව හිටිය අපි දැන් කැම්පස් එකේ තැන් තැන්වල පිහිටීම ගැනත් ටික ටික හුරුවෙලා.ඒ වගේමයි කෑමත්!මුල් දවස්වල සමහරුන්ට කැම්පස් එකේ කෑම ඇල්ලුවේ නෑ![අපිටනං ඉතින් කොහේ කෑමත් අල්ලලා යනවනේ :)]දැන් වෙනකොට ඒ අවුලුත් සෑහෙන්න දුරට විසඳිලා.

ක්‍රීඩා කටයුතු වගේම සංගම්වල කටයුතුත් ලබන සතියේ පටන් ගන්නවා.එතකොට තව අලුත් දේවල් ගොඩාක් දැනගන්න , ඉගෙනගන්න හම්බවේවී.හැබැයි අධ්‍යයන කටයුතු පටන් ගත්තාමනං සෑහෙන්න වැඩ තියේවි.ඒකට ඉතින් තව සති 6ක්ම තියෙනවනේ :)) එතකං අපි ජොලියෙන් කල් ගෙවනවා.

ආහ්!තව පොඩ්ඩෙන් අමතක වෙනවා! ගෙදර ඉඳන් කැම්පස් යන්න අමාරු නිසා මම තව යාලුවෝ 3 දෙනෙක් එක්ක බෝඩ් වුණා.බෝඩිම ගැනයි , අපේ බෝඩිමේ කශ්ටිය ගැනයි ඊලඟ ලිපියෙන් ලියන්නම්කෝ!

Saturday, July 3, 2010

අපිත් දැන් කැම්පස් කොල්ලෝ [ කැම්පස් සටහන් 1 ]



අපිත් ඔන්න කටුබැද්ද ඉංජිනේරු පීඨයට තෙරුනාලු!( නිකන්ම තේරුණා කිව්වට ඇතුලට යන්න මහන්සිවුණු විදිය මෙතනින් කියවලා බලන්න :D )

ජූනි 29 තමයි කැම්පස් පටන් ගත්තේ.මේ දවස් ටිකේ හිටියේ බෝඩිමේ නිසා ජංජාලේ පැත්තේ යන්න එන්නත් බැරිවුණා.මොකද අපිට තාම ජංගම ජංජාල පහසුකමක් තියා , ජංගම පරිගණකයක්වත් සෙට් උනේ නෑ!

මොනාවුණත් රැග් සීන් ලොකුවට නැති නිසා කැම්පස් එකේ මුල් දවස් ටික ලොකු අවුලකින් තොරව ඉන්න පුලුවන් වේවි කියලා මම හිතුවා.

ඒත් කොලඹ ඉස්කෝලවල අපේම යාලුවන්ට ( මමත් ඇතුලුව ) පිටපලාත්වල seniors ලා සලකන හැටි දැක්කම ඇත්තටම පොඩි දුකක් ඇතිවුණා.[ඒවා ගැන ලියන්න වෙනම දවසක් ගන්න ඕනි!]

රටම ගොඩනඟන්න පුළුවන් දැනුමකුත් තියාගෙන , සීමා මායිම් පනවගෙන එක එකා ඇණකොටා ගන්නකොට ලංකාව කොහොම දියුණු වෙන්නද!අනේ හෆොයි!

 අනික සිංහල මිනිස්සු හැමතැනදිම මෝඩයෝ වෙලා ඇණ කොටා ගන්නකොට , දෙමල මිනිස්සු එකතුවෙලා ජාතියක් විදියට නැගිටින්න හදන හැටි හොඳටම පැහැදිලි වෙනවා කැම්පස් එක ඇතුලෙදි.

 අවුරුදු ගානක් පෙරුම් පුරලා , හීන මවලා පටන් ගත්තු කැම්පස් ජීවිතේ හිතපු තරම්ම සුන්දර නැහැ කියලයි දැන්නං හිතෙන්නේ.
[ ඉස්සරහට මේ අදහස් වෙනස්වුණොත් ඒකට හේතුත් එක්කම තවත් ලිපියක් ලියන්නංකෝ! :) ]